යකඩ යකාට නැවතුමක් නැහැ - මිනිස් ජීවිත 234ක් බිලි අරන්
මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වු සිඝ්‍රගාමී දුම්රියක ගැටී පුද්ගයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ ඊයේ (14) රාත්‍රී කාලයේදී කළුතර උතුර පොලිස් වසමේ කොළඹ බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ සැතපුම් 23 අණුව අසලදී මෙම අනතුර සිදුවී ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.
මෘතශරීරය නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර කළුතර උතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 වසරේ ගතවූ මාස 7 තුළ දුම්රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 234 දෙනෙකු මියගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරක්ෂක අධිකාරිය පවසයි.
දුම්රිය පාපුරුවෙන් වැටීම්, දුම්රියට පැන දිවිනසා ගැනීම්, දුම්රිය මාර්ගයේ ගමන් කිරීම්, ගෙල තැබීම් සහ දුම්රියට නැගීමට යාමේදී වැටීම් හේතුවෙන් මෙම මරණ සිදුව ඇතැයි එම අධිකාරිය සඳහන් කරයි.
මෙම මරණවලින් බහුතරයකට හේතුව පුද්ගලයන්ගේ නොසැලකිලිමත්කම බවද අධිකාරිය පෙන්වා දෙයි.
එසේම, දුම්රිය හරස් මාර්ගයට නොසැලකිලිමත් ලෙස වාහන ධාවනය කිරීම හේතුවෙන් ගතවූ මාස 7 තුළ අනතුරු 31ක් සිදුව ඇතැයි එම අධිකාරිය වැඩිදුරටත් පවසයි.