අනියම් යුවළක් සිහිය නැති කර සිදුකරන අමුතුම වැඩේ මාට්ටු වෙයි...
නුවරඑළිය පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්, පැණි බීම පානයකට සිහිය නැති වීමේ බෙහෙතක් කලවම් කර එය පානය කිරීමට ලබා දී සිහි නැති වූ පසු එම පුද්ගලයා සතු වටිනා සියලු දේ කොල්ල කෑමට පුරුදු ව සිටි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 39 හැවිරිදි කාන්තාවකි. මෙම යුවළ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල දී හෙළි වී ඇත්තේ, මොවුන් තවලන්තැන්න හා වටවල ප්‍රදේශයේ පදිංචි ව සිටින අනියම් යුවළක් වන බවයි.
ඉකුත් (31) දින මිහිරියගල - දෙමෝදර පදිංචි කාන්තාවක් නිවසට අවශ්‍ය කරන බඩු බාහිරාදිය මිල දී ගැනීමට බණ්ඩාරවෙල නගරයට පැමිණි අවස්ථාවේ දී සැකකාර යුවළ පැමිණ ''අම්මා ඔයා කොහෙ ද යන්නේ මොනව ද කරන්නේ'' යනුවෙන් විමසා සුහදතාවක් ඇතිකර ගනිමින් පසු ව ඔවුන් නිමි ඇදුම් අලෙවි කරන බව පවසා ඇයට ද එයට සහායට එකතු වන ලෙස පවසා දුරකථන අංක හුවමාරුකර ගනිමින් විකිණිම සඳහා නිමි ඇඳුම් කිහිපයක් ලබා දී ඇත.
පසු ව එම කාන්තාව විසින් ඇඳුම් කිහිපයක් විකුණා ඉතිරි ඇඳුම් නැවත එම සැකකාර යුවළට ලබා දීමට ඇමතුමක් ලබා දී තිබේ. ඒ අනුව සැකකාර යුවළ ඇයට පවසා ඇත්තේ, එම ඉතිරි නිමි ඇඳුම් රැගෙන නුවරඑළියට පැමිණෙන ලෙසත් තවත් අලෙවි කිරීමට රෙදි පිළි තොගයක් ලබාදෙන බවත්ය.
පසු ව එම කාන්තාව සිය පුතා සමඟ ඔවුන් හමුවීමට පැමිණි පසු නුවරඑළිය පොදු වෙළෙඳසලට ගෙන්වාගෙන ගමන් මහන්සිය නිවා ගැනිමට යැයි පවසා සිහිය නැති වීමට බෙහෙතක් කලවම් කර ඇති බීම වර්ගය ලබා දී තිබේ. එම බීම පානය කිරීමෙන් අනතුරු ව එම කාන්තාව සහ ඇයගේ පුත්‍රයාගේ සිහිය නැති වී ඇත.
එම කාන්තාව සතුව තිබූ රත්‍රං තැල්ලක්, කරාබු ජෝඩුවක්, රන්මාලයක් ඇතුළු ලක්ෂ පහකට ආසන්න රන් ආභරණ සහ රුපියල් 5,000ක මුදලක් රුපියල් 5,000ක් වටිනා ජංගම දුරකථනයක් හා එම තරුණයා සතු ව තිබුණු මිල අධික ජංගම දුරකථනයක් සැකකාර යුවළ විසින් කොල්ල කා ඇති බවයි, පොලීසිය පැවසුවේ.
පසු ව පොලීසිය විසින් සීසිටීවී දර්ශන පරීක්ෂා කරමින් සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත. එහි දී අනාවරණය වී ඇත්තේ, මීට පෙර ද මෙම සැකකරුවන් මාස 03ක සිර දඬුවමක් ලබා නිදහස් වී පැමිණ පුද්ගලයින් බවය. සැකකාර යුවළ නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Sponsored By Sarrita Jewellery
