අලුත්ගම මොරගල්ලම කම්පා කරවූ බිහිසුණු බෝට්ටු අනතුරේ දර්ශන - "බාප්පා උඩින් විසිවුණා.. ලයිෆ් ගාඩ් බහින්න බැහැ කිව්වා"
මුහුදේ අනතුරට පත්වූ ධීවර යාත්‍රා දෙකක අතුරුදන්ව සිටින ධීවරයින් සෙවීම සඳහා බෙල් 412 හෙලිකොප්ටරයක් යෙදවීමට ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට උපදෙස් ලබාදී ඇත.
මේ වන විට ශ්‍රී ලංකා ගුවන් හමුදාව Y-12 ගුවන් යානයක් යොදවා අතුරුදන් ධීවරයින් සොයා අදාළ ප්‍රදේශය නිරීක්ෂණය කරමින් සිටින බව වාර්තා වේ. අනතුරට ලක්වූ යාත්‍රාවලින් එකක් දෙවුන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය අතර, අනෙක මොරගල්ල ප්‍රදේශයෙන් මුහුදු ගිය යාත්‍රාවකි.
දෙවුන්දර ධීවර වරායෙන් ඊයේ (27) සවස පිටත්ව ගිය යාත්‍රාවේ ධීවරයින් පස්දෙනෙකු සිටි බවට විශ්වාස කෙරෙන අතර, එම යාත්‍රාව වාණිජ නෞකාවක ගැටීමෙන් අනතුර සිදුවූ බවට සැක කෙරේ. එම අනතුරින් එක් ධීවරයෙකු මුදාගෙන ගොඩබිමට රැගෙන විත් ඇති නමුත්, ඉතිරි ධීවරයින් සිව්දෙනා අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් නාවික හමුදාවට දැනුම් දීමෙන් පසු, නාවික හමුදාව විසින් සෝදිසි මෙහෙයුම් යාත්‍රාවක් පිටත් කර යවා ඇත. මේ අතර, කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල මොරගල්ල ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය "ධනුෂා මැරීන්" නම් කුඩා ධීවර බෝට්ටුවක් පෙරලීමෙන් එහි ගමන්ගත් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇත.
මෙසේ අතුරුදන්ව ඇත්තේ අලුත්ගම ප්‍රදේශයේ පදිංචි නඳුන් කුමාර සහ ඔහුගේ සහෝදරයා වන දුමින්ද නඳුන් කුමාර යන දෙදෙනා බව වාර්තා වේ. අතුරුදන් ධීවරයින් සොයා ගැනීම සඳහා ගුවන් හමුදාව සහ නාවික හමුදාව ඒකාබද්ධව දැඩි මෙහෙයුම් සිදුකරමින් සිටින අතර, මෙම ඛේදවාචකය ධීවර ප්‍රජාවට බලවත් සිත්තැවුලක් ඇති කර ඇත.
වීඩියෝ දර්ශන - දෙරණ;
