එන්නත ඉල්ලා විරෝධයක්

covid19 vaccination strike valiweriya athikehelgalla
By Sewvandhi Jun 24, 2021 11:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වැලිවේරිය ඇතිකෙහෙල්ගල්ල බටහිර ප්‍රදේශයේ ජනතාව එන්නත් ඉල්ලා ඊයේ (23) විරෝධතාවයක නිරතවුණි. ඔවුන් පවසන්නේ කොවිඩ් වෛරසය පැතිර යෑමේ දැඩි අවදානමකට මුහුණ දී සිටින සිය ගම්මානයට මේ වනතෙක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදී නොමැති බවය.

කොවිඩ් දෙවන රැල්ලේදී සිය ගම්මානය තුළින් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වූ බවත් පසුගිය දා ද සිය ගම්මානය දින 14කට වැඩි කාලයක් හුදකලා කර තිබූ බවත් ඔවුන් පෙන්වා දෙයි.

මෙම ගම්මානයේ ජීවත් වෙන පවුල් සංඛ්‍යාව 150කට අධිකය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගම්වැසියෙක්,

"අපේ ප්‍රදේශය දින 14කට වැඩි කාලයක් වහලා තිබුණා. මේ අවට තියෙන සියලුම ගම්වල එන්නත්කරණය සිදුකරලා තියෙනවා. නමුත් වැඩි අවදානමක් තියෙන ඇතිකෙහෙල්ගල්ල බටහිර ප්‍රදේශයට එන්නත් ලැබුණේ නෑ. ඒ නිසා ගමේ ජනතාව තීරණය කළා විරෝධය දක්වලා හරි එන්නත් ටික ගෙන්නගමු කියලා. මේක අවදානම් ප්‍රදේශයක් නිසයි අපි මේ ඉල්ලීම කරන්නේ. සමහරවිට එන්නත් ලබාගන්න මාරාන්තික උපවාසයක් කරන්නත් වෙයිද දන්නේ නෑ."

තවත් පුද්ගලයෙකු සඳහන් කළේ, "මම විතරක් මැරෙනවා නම් එන්නත් ඉල්ලන්නේ නෑ. මට හැදුනොත් ගෙදර ඉන්න හැමෝටම හැදෙනවා නේ. ඒකයි එන්නත් ඉල්ලන්නේ." ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඇතිකෙහෙල්ගල්ල නැගෙනහිර කොටසේද ඊයේ සිට අලුත් කොවිඩ් පොකුරක් ඇතිවෙමින් තිබෙන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now