ගිනියාවෙන් ඇසෙන ඛේදවාචකය - දැවැන්ත කසළ කන්දක් කඩා වැටී 30ක් ජීවිතක්ෂයට
ගිනියාවේ අගනුවර වන කොනක්‍රි නගරයේ දැවැන්ත කසළ කන්දක් නායයෑමෙන් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් තිබේ.
අධික වර්ෂාවත් සමඟ අලුයම සිදුවූ මෙම නායයෑමෙන් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා ඇති බව ගිනියා රජය ඉරිදා නිවේදනය කළේය. ග්බෙසියා කොමියුනයේ මෙම අනතුර අලුයම 2ට පමණ සිදුව ඇති අතර, මියගිය සංඛ්‍යාව 30ක් බව රජයේ ප්‍රකාශයක සඳහන් වේ.
තුවාල ලැබූවන් අතරින් හය දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන අතර, තවත් 16 දෙනෙකු සුළු තුවාල ලබා ඇත. රාත්‍රියේ ඇදහැලුණු දැඩි වර්ෂාව හේතුවෙන් විශාල කසළ කන්දක් කඩා වැටී ඒ ආසන්නයේ තිබූ කූඩාරම් සහ පැල්පත් යට කර තිබේ.
සාක්ෂිකරුවන් පවසන්නේ නායයෑමට ලක් වූ කසළ ප්‍රමාණය මහල් නිවාස ගොඩනැගිල්ලක් ඇතුළු අවට නිවාස කිහිපයක්ම යට කිරීමට තරම් විශාල වූ බවයි.
ගලවා ගැනීමේ කණ්ඩායම් කැණීම් යන්ත්‍ර සහ වෙනත් උපකරණ යොදා ගනිමින් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා මෙහෙයුම් සිදුකරමින් සිටිති. සිද්ධියෙන් තම දරුවන් පස්දෙනාම මියගිය බව සයිරේ ඩයල්ලෝ නම් කාන්තාවක් මාධ්‍ය වෙත පවසා තිබේ.
“මට මගේ සියලු දරුවන් අහිමි වී ඇත. මට කළ හැක්කේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීම පමණයි” යනුවෙන් ඇය සඳහන් කළාය.
මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ ගිනියා රජය අදාළ කසළ රඳවනය වසා දමා අපද්‍රව්‍ය කොනක්‍රි නගරයෙන් පිටතට ගෙන යාමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර දින කිහිපයකට පසුව වීම විශේෂත්වයකි.
භෞමික පරිපාලන අමාත්‍ය ජෙනබ් ටුවර් පසුගිය බ්‍රහස්පතින්දා මේ බව නිවේදනය කළේය. බටහිර අප්‍රිකාවේ ජනාකීර්ණ සහ යටිතල පහසුකම් අඩු නගර කිහිපයකට වැසි සමයේදී මෙවැනි කසළ කඳු, නායයෑම් සහ හදිසි ගංවතුර දැඩි අවදානමක් වී තිබේ.
ගිනියාව ස්වභාවික සම්පත්වලින් පොහොසත් රටක් වුවද, දුර්වල යටිතල පහසුකම් සහ පුළුල් දරිද්‍රතාව හේතුවෙන් ජනතාවගෙන් විශාල පිරිසක් දුෂ්කර ජීවන තත්ත්වයන්ට මුහුණ දෙති.
ලෝක බැංකු වාර්තාවකට අනුව, එරට මිලියන 15.1ක ජනගහනයෙන් මිලියන 3.7ක් දිනකට ඇමෙරිකානු ඩොලර් 4.20කට අඩු ආදායමකින් ජීවත් වෙති. අනතුරෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අධීක්ෂණය කිරීම සඳහා ගිනියා අග්‍රාමාත්‍ය අමඩූ ඕරි බා ද ඉරිදා එම ස්ථානයට පැමිණියේය.
සිද්ධිය සම්බන්ධයෙන් රජය ජනතාවගෙන් ඉල්ලා ඇත්තේ සන්සුන්ව සිටින ලෙසත්, ගලවා ගැනීමේ කණ්ඩායම් සහ බලධාරීන්ගේ උපදෙස් දැඩි ලෙස පිළිපදින ලෙසත්ය.