ලංකාවේ දිස්ත්‍රික්ක 7කට දරුණු බලපෑමක් - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් හදිසි නිවේදනයක්
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් බලපෑමට ලක්ව ඇති බවයි. එම දිස්ත්‍රික්ක 7හි ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 23ක් වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පවුල් 25,628ක පුද්ගලයින් 81,865ක් එල් නිනෝ තත්ත්වයෙන් බලපෑමට ලක්ව ඇති බවයි. මෙම බලපෑම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20කට පානීය ජලය බෙදා හැරීමටද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.
ඒ අනුව පවුල් 23,048ක පුද්ගලයින් 72,153 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කළේය. ඒ අනුව වැඩි වශයෙන් පානීය ජලය බෙදා හැර ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කයට වන අතර එහිදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7ක පවුල් 10,264ක පුද්ගලයින් 33,023 දෙනෙකු සඳහා පානීය ජලය බෙදා හැරීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 8ක පවුල් 9,547ක් ඇතුළත් පුද්ගලයින් 28,523කට පානීය ජලය බෙදා හැරීමටද පියවර ගෙන ඇත. අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02ක පීඩාවට පත් පවුල් 2,537ක පුද්ගලයින් 7,882ක් සඳහාද වැඩි වශයෙන් පානීය ජලය බෙදා හැරීමටද පියවර ගෙන ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.