හමුදාව කොරෝනා පාලනයට සහාය දක්වනවා තීරණ ගන්නේ නැහැ...

srilanka politics presanna ranatunga
By Nimal Jun 24, 2021 06:50 AM GMT
Report

 රට වසා දැමීම හෝ විවෘත කිරීම දේශපාලන තීන්දුවක් නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා සහාය දැක්වීම හැර තීරණ ගැනීම සඳහා හමුදාව මැදිහත් නොවන බවද කී අමාත්‍යවරයා රට වසා දැමීම, විවෘත කිරීම හෝ සංචරණ සීමා පැනවීම සිදු කෙරෙන්නේ සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි බව ද පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (23) මිනුවන්ගොඩ නගර සභා සීමාව තුළ පැය 24 පුරා පානීය ජලය ලබාදීමේ වැඩසටහන ඇරඹීමේ අවස්ථාවට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

දවසක් ඇර දවසක්, දවසකට පැය හතරක් බැගින් පානීය ජල පහසුකම් ලබා ලබාදුන් මිනුවන්ගොඩ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට ඊයේ සිට පැය 24 පුරාම ජල පහසුකම ලබාදීමට රජය කටයුතු කර තිබේ. මේ යටතේ පවුල් 3000ට පානීය ජල පහසුකම් හිමි වන අතර පළමු ජල පහසුකම් හිමිකම්පත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් ප්‍රදානය කෙරිනි.

උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහි ව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංගයේදී ආන්ඩුවේ මන්ත්‍රිවරු දරන ස්ථාවරය සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ආණ්ඩුව ජනාධිපතිවරයා ගේ තීරණය නියෝජනය කරන බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් පාර්ලිමේන්තුවට පැමිණීම ආණ්ඩුවට වැදගත් කාරණයක් නොවුණ නමුත් විපක්ෂ නායකවරයාගේ මුහුනින් පෙනුනේ විපක්ෂ නායකවරයාට ඉන් බලපෑමක් සිදු විය හැකි බව යැයි ද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක, මිනුවන්ගොඩ නගාරාධිපති නීල් ජයසේකර, උප සභාපති අතුල කුමාර සේනානායක, මිනුවන්ගොඩ ප්‍රා දේශීය සභාවේ උප සභාපති සූජිය සම්පත් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්වූහ.