විපක්ෂය දෙකට බෙදී යාමේ තත්ත්වයක්....

srilanka politics mihinda amarawera
By Nimal Jun 11, 2021 04:08 AM GMT
Report

 රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පැමිණීමට ගත් තීරණයත් සමග විපක්ෂය දෙකට බෙදී යාමේ තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා යැයි පරිසර අමාත්‍යවරයා පවසයි.

අපි රජය විදියට කල්පනා කරන්නේ විපක්ෂය කැඩීම ගැන නොවෙයි. මෙම කොවිඩ් වසංගත තත්ත්වය අවසන් කර රටේ සංවර්ධන කටයුතු යළි ක්‍රියාත්මක කිරීම මෙන්ම කඩා වැටුනු මහජන ජීවිත යළි ගොඩ ගැනීම සම්බන්ධවයි. විපක්ෂ නායකත්වය කාට හිමි වුනත් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් රජයක් සාර්ථකව පවත්වාගෙන යාමට නම් ශක්තිමත් විපක්ෂයක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදීව හොඳයි. ඉන් රජය මගින් මහජනතාවට විශාල සේවයක් ඉටු කර ගත හැකියි. දියාරු වෙච්ච විපක්ෂයක් ඇති විට රජයටත් කිසිම නවමුභාවයක් නැහැ. ශක්තිමත් විපක්ෂයක් තිබීම රජයකට උනන්දුවෙන් වැඩ කරන්නට පොළඹවන හේතුවක්. යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට යළි පැමිණීමට ගත් තීරණයත් සමග විපක්ෂයේ යම් බෙදීමක් සිදුවිය හැකිදැයි මාධ්‍යවේදීන් පිරිසක් ඊයේ (10) පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කරුණු විමසීය.

එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ,රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමට ගත් තීරණයත් සමග විපක්ෂය දෙකඩවීමේ තත්ත්වයක් තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ යෝජනාවක් කඩිමුඩියේ ගෙන ඒමෙන්ම ඒ බව පෙනෙනවා. විපක්ෂ නායකවරයාට සහාය පළ කිරීමේ හෝ විශ්වාසය පළ කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් විපක්ෂ නායකයා පත් කර අවසන්. නමුත් මේ හදිසියේ එවැනි යෝජනාවක් විපක්ෂය තුළ සම්මත කර ගැනීමෙන් පෙනී යන්නේ ඔවුන් තුළ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කිසියම් අවිශ්වාසයක් ගොඩ නැගී ඇතිබවයි.

සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායක ධුරය අහිමි වීමට ඉඩ ඇත්දැයි මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා ,අද විපක්ෂයේ සිටින සියලු දෙනාම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වය යටතේ ඒ පක්ෂයේ සිටි අය. ඒ නිසා ඒ සියලු දෙනාම රනිල්ගේ පිරිස තමයි. විපක්ෂ නායකකම හිමි වන්නේ විපක්ෂයේ බහුතරයක් මන්ත්‍රීවරුන්ගේ සහයෝගය දිනාගත හැකි පුද්ගලයාටයි. ඒ නිසා යම් ගැටළුවක් තිබෙනවා. විපක්ෂයේ බහුතරයක් සහයෝගය පළ කළහොත් රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂ නායකකම හිමි වේවි.

විපක්ෂය දෙකට කැඩීමට ආණ්ඩුව මැදිහත් වීමක් ඇත්දැයි ද මාධ්‍ය වේදීන් විමසූහ,නැහැ. එම කාරණයේ සත්‍යතාවයක් නැහැ. විපක්ෂ නායකත්වය කාට හිමි වුනත් එයින් ආණ්ඩුවට වාසියක් හෝ අවාසියක් නැහැ. දැන් තිබෙන විපක්ෂය කියන්නේ ශක්තිමත් පිරිසක් නොවෙයි. අපේ රජය තුනෙන් දෙකක බලයක් තිබෙන රජයක්. විපක්ෂයේ ඉන්නේ සුළු පිරිසක්. ඒ නිසා විපක්ෂ නායකත්වයේ කවුරු හිටියත් අපිට ප්‍රශ්නයක් නැතැයිද මහින්ද අමරවීර මහතා වැඩි දුරටත් පැවසුවේය. 

You may like this video