වැලි ඝන මීටර් මිලියන 57ක අවශ්‍යතාවක්...

srilanka nature mahinda amarawera
By Nimal Jul 18, 2021 03:55 AM GMT
Report

රජය විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘති 13ක් සඳහා ලබන 2025 වසර දක්වා පමණක් වැලි ඝන මීටර් මිලියන 57ක අවශ්‍යතාවක් තිබෙන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මාර්ග සංවර්ධනය යටතේ අධිවේගී මාර්ග මෙන්ම ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 100,000ක් සංවර්ධනය කිරීම, නාගරික දුම්රිය මාර්ග , මංතීරු පුළුල් කිරීම, විශ්ව විද්‍යාල හා පාසැල් ගොඩනැගිලි මෙන්ම ශීෂ්‍ය නේවාසිකාගාර ආදී සංවර්ධන ව්‍යාපෘති රැසක් තිබෙන බවද පැවසුවේය.

මෙම ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඛනිජ සම්පත් සම්බන්ධයෙන් අපි ගණනය කිරීමක් කළා. ඒ අනුව කළුගල්, වැලි හා පස් අවශ්‍ය ප්‍රමාණයන් පිළිබඳවත් ඒවා ලබා ගත හැකි ස්ථාන පිළීබඳවත් අපි දත්ත එක් රැස් කළා. කළුගල්, වැලි හා පස් ලබා ගත හැකි දිවයින පුරා ස්ථාන 4000ක් පමණ දැනට හඳුනාගෙන තිබෙනවා. ඒ අතරින් මේ වසරේ සිට 2025 දක්වා කාලය තුළ රජයේ සංවර්ධන ව්‍යාපෘති 13 සඳහා පමණක් වැලි ඝන මීටර් මිලියන 57ක් අවශ්‍ය වෙනවා.නමුත් අපිට ලබා දීමට හැකි වන්නේ වැලි ඝන මීටර් මිලියන 42ක් විතරයි. ඒ නිසා ඒ සඳහා විකල්ප ස්ථාන තවත් ගවේෂණය කිරීමට අපිට සිදු වී තිබෙනවා යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා ( 16) පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟ අසළ දී ඉවුරු රකින පවුරු රුක් රෝපණ වැඩ සටහන ආරම්භ කරමිනි. කිලෝමීටර් 360 පමණ දිගින් යුත් මහවැලි ගඟේ ඉවුරුවල ආරක්ෂාව උදෙසා මී හා කුඹුක් පැළ 1,68,000ක් රෝපණය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය හා ටෝකියෝ සිමෙන්ති සමාගම එක්ව ඉවුරු රකින පවුරු රුක් රෝපණ වැඩ සටහන ක්‍රියාත්මක කරනු ලබයි.වැලි ඝන මීටර් මිලියන 57ක අවශ්‍යතාවක්... | Srilanka Nature

මේ සඳහා සම්පූර්ණ මුල්‍ය අනුග්‍රහය දරනුයේ ටෝකියෝ සිමෙන්ති සමාගම විසින්ය. මෙම වැඩ සටහනේ සමාරම්භක අවස්ථාව මනම්පිටිය මහවැලි ගඟ අසළ දී ආරම්භ විය.එහිදී පරිසර අමාත්‍යවරයා මෙන්ම සහභාගි ව සිටි නිලධාරින් විසින් කුඹුක් පැළ රෝපණය කළහ. එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා, මනම්පිටිය ප්‍රදේශය ප්‍රසිද්ධව තිබෙන්නේ මහවැලි ගඟේ වැලි කැණීම සම්බන්ධවයි. අද අපේ රටේ හැම ඉදිකිරීම් කටයුත්තකදීම ඉල්ලන්නේ මනම්පිටියේ වැලි. වැලි කියන්නේ ස්වාභාවික සම්පතක්. ඒක කෘත්‍රිමව නිෂ්පාදනය කරන්න බැහැ. ඒ නිසා මෙම ස්වාභාවික සම්පත කිසියම් අවස්ථාවක අවසන් වන බව අපි මතක තබා ගත යුතුයි.

අපේ ඉදිකිරීම් කටයුතුවල දී මෙම සම්පත කළමනාකරණයකින් යුතුව පරිහරණය කළ යුතුව තිබෙනවා. එසේ නොවුනහොත් ඉදිරියේ දී වැලි හිඟයක් පවා ඇති විය හැකියි. අපේ රටේ ඉදිකිරීම් කටයුතුවල දී අවශ්‍ය වැලි සම්පත කළමනාකරණයට අපි විශේෂ වැඩ පිළීවෙළක් යොදා තිබෙනවා. සියයට සියයක්ම රාජ්‍ය ආයතනයක් වන තාක්ෂණික කළමනාකරණ සේවා සමාගම විසින් ක්‍රමානුකූලව වැලි සැපයීමට දැනට වැඩ පිළීවෙළක් සකස් කර තිබෙනවා. මගේ ඉළක්කය තමයි මෙම වැලි අලෙවිය සම්බන්ධව පවතින ජාවාරම නතර කිරීම. වැලි සැපයීමේ දී පාරිභොගිකයින්ට අවම මිලකට වැලි සැපයිය හැකියි. දැනට අතරමැදියන් විසින් සිදු කරන ගසා කෑම නතර කළ විට අඩු මිලකට කියුබ් තුනක වැලි ටිපරයක් ජනතාවට ලබා දිය හැකියි.

මම තාක්ෂණික සේවා සමාගමට උපදෙස් දී තිබෙන්නේ අතරමැදියන්ගෙන් තොරව පාරිභොගිකයින්ගේ නිවෙසටම වැලි සැපයීමේ වැඩ පිළිවෙළක් අරඹන ලෙසයි. ඒ සඳහා අපි මේ වනවිට ජංගම දුරකථන යෙදවුමක් Mobile Phone App පවා සකස් කරමින් ඉන්නවා. ඉවුරු රකින පවුරු වැඩ සටහන සඳහා රජයේ මුදල් රුපියළක් වත් වැය වන්නේ නැහැ. ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් සම්පූර්ණ පිරිවැය දරනවා. මහවැලි ගඟේ ඉවුරු ආරක්ෂා කිරීම මෙම වැඩ පිළිවෙළේ අරමුණයි. මෙම රෝපණය කරන ලද ශාඛ ආරක්ෂා කර ගැනීම ජනතාවගේත් වගකීමක් යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.