වාර්තාගත ආදායමක් ලැබූ තැපෑල

Sri lanka post office Department of post
By Sithumi Jun 22, 2021 04:57 PM GMT
Sithumi

Sithumi

Report

 ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ඉපයූ වැඩිම මුදල අද (22) වාර්තා කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. රුපියල් කෝටි 28කට අධික (රුපියල් මිලියන 284ක්) මුදලක් තැපැල් දෙපාර්තමේන්තුව අද දින උපයා ඇතැයි කී තැපැල්පතිවරයා ඉන් රුපියල් කෝටි 22ක්ම විදුලි බිල් අයකිරීම් මගින් ලබාගත් බව සඳහන් කරයි.

මීට අමතරව ඊයේ (21) දිනයේදීද තැපැල් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 22කට වැඩි ආදායමක් ඉපයූ බව කී රංජිත් ආරියරත්න මහතා ඉන් රුපියල් කෝටි 15ක් විදුලිබිල් මගින් ලැබී ඇතැයි ද කීවේය. ලංකා විදුලිබල මණ්ඩලයේ, ජල සම්පාදන මණ්ඩලයේ බිල්පත් ගෙවීමට පැමිණි අය කළ ගෙවීම්ද ඇතුළුව ආයතන 18ක් වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව මෙම ආදායම් උපයා ඇතැයි ද තැපැල්පතිවරයා කීවේය

දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් ලැබූ දෙදින ලෙස මෙම දින දෙක ඉතිහාසයට එක්වන බව කී ආරියරත්න මහතා සාමාන්‍යයෙන් තැපැල් දෙපාර්තමේන්තුව දෛනිකව උපයන මුදල රුපියල් කෝටි 14 ත් 15ත් අතර වන බව ද පැවසීය. සංචරණ සීමා පැවති කාලයේදී විදුලි, ජල බිල්පත් ගෙවීමට නොහැකිව සිටි පිරිස් සංචරණ සීමා ඉවත් කළ වහාම පැමිණ එම බිල්පත් ගෙවීම මෙම ආදායම ලැබීමට හේතු වූ බව ද ඔහු සඳහන් කළේය.

තැපැල් දෙපාර්තමේන්තුව මේ දිනවල මුද්දර, පාර්සල් බෙදාහැරීම ආදී සේවා මගින්ද වෙනදාට වැඩි ආදායමක් හිමිකරගෙන ඇතැයි තැපැල්පතිවරයා කීය. එමෙන්ම රෝහල්වල ඖෂධ බෙදාහැරීම යටතේ තැපැල් දෙපාර්තමේන්තුව කොවිඩ් පළමු හා දෙවනි රැලි පැවති කාලයේදී ඖෂධ පාර්සල් ලක්ෂ 17ක් බෙදූ බව කී රංජිත් ආරියරත්න මහතා තෙවැනි රැල්ල ආරම්භවීමෙන් පසුව ද මේ වන විට ඖෂධ පාර්සල් 75,000ක් බෙදා ඇතැයි සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


ReeCha