ඉතිහාසයේදී එක් මසකදී වාර්තා වූ දෙවැනියට වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා වෙයි - මහ බැංකුවෙන් දන්වයි
ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින් මඟින් ඉකුත් මැයි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 847 ක ප්‍රේෂණ ප්‍රමාණය මෙරටට එවා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව එම කාර්යාංශය සඳහන් කරන්නේ මෙය ඉතිහාසයේදී එක් මසකදී වාර්තා වූ දෙවැනියට වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා සදහන් කර ඇති බවයි.
කෙසේ වෙතත් මීට පෙර ඉතිහාසයේ එක් මසකදී ලැබුණු වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා වූයේ පසුගිය 2025 වසරේ දෙසැම්බර් මාසයේදීයි. ඒ ඇමරිකානු ඩොලර් මිලියන 879.1 ක්.
එසේම පසුගිය 2025 වර්ෂයේ මැයි මාසයේදී ශ්‍රී ලංකාවට ලැබී තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 641.7 ක විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණයක් බවත් එම ප්‍රමාණය හා සැසඳීමේදී මේ වසරේ මැයි මාසයේදී 32% ක කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය දන්වා සිටියි.
මේ අතර මහ බැංකු වාර්තාවලට අනුව, මේ වසරේ මුල් මාස 5 තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 3.9 ක මුදලක් වාර්තා වී තිබෙන අතර, පසුගිය 2025 වර්ෂයේ මුල් මාස 5 තුළ උපයා තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 3.10 ක මුදල සමග සැසඳීමේදී එය පසුගිය වසරට සාපේක්ෂව 26% ක වර්ධනයක් බව එම කාර්යාංශය දක්වයි.
එසේම මෙම වසර තුළදී මෙරටට වැඩිම විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වේ.
මේ අතර, 2026 වර්ෂයේ ජනවාරි සිට මැයි මස දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 100,686 ක පිරිසක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබෙන බව වාර්තා වේ.
ඒ අතරින් වැඩිම ප්‍රමාණයක් වන 21,977 ක පිරිසක් රැකියා සඳහා ගොස් ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයටයි.
කෙසේ වෙතත් එම කාර්යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති විදේශ ප්‍රතිපත්ති මඟින් විදේශ රටවල් සමග අවබෝධතා ගිවිසුම් ඇති කර ගැනීම, ශ්‍රමික පුහුණුවක් සහිත නව වෙළෙඳපොළ රැකියා අවස්ථා හඳුන්වා දීම සහ විදේශ ශ්‍රමිකයන් සඳහා මූල්‍යමය ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම වැනි ක්‍රමවේදයන් හේතුවෙන් මෙරට පුරවැසියන් වැඩි වශයෙන් විදෙස් රැකියාවල නිරත වීමට පෙළඹී ඇති බවයි.