සති අන්තයේ කාලගුණය කැළඹෙයි - දිවයිනට බලපෑම් කළ හැකි අඩුපීඩන කලාපයක් ගැන විශේෂ අනතුරු ඇඟවීමක්

Report

ගිනිකොණදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මේ වන විට පවතින කැලඹිලි සහිත කාලගුණ තත්ත්වය අඩුපීඩන කලාපයක් දක්වාත්, අනතුරුව පීඩන අවපාතයක් දක්වාත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම තත්ත්වයේ බලපෑම ලබන 15, 16 සහ 17 යන දිනවලදී දිවයිනට ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්නගේ මහතා සඳහන් කළා.

ඒ අනුව උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වය ඉහළ යා හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් නිශ්චිත අනාවැකි පළ කිරීම සඳහා ප්‍රමාණවත් දත්ත තවමත් ලැබී නොමැති බවත්, ඉදිරියේදී තත්ත්වය අධ්‍යයනය කර අවශ්‍ය වුවහොත් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට පියවර ගන්නා බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

මෙම අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්ව තවදුරටත් වර්ධනය වුවහොත් සහ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරු දෙසට ගමන් කළහොත් එහි බලපෑම දිවයිනට දැඩි ලෙස දැනිය හැකි බවද ඔහු අවධාරණය කළා.

රට පුරා අධික වර්ෂාව - ගංවතුර අවදානමක් ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි

රට පුරා අධික වර්ෂාව - ගංවතුර අවදානමක් ගැන වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි

මේ අතර, අද (11) පෙරවරුවේ නිකුත් කළ කාලගුණ නිවේදනයට අනුව උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වීමේ හැකියාව පවතිනවා.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

අලි මිනිස් ගැටුමට විසඳුම් සොයන හස්ති සේනා මෙහෙයුමට අලුත් වෙනසක් සිදුකිරිමට රජයෙන් තීරණයක්

අලි මිනිස් ගැටුමට විසඳුම් සොයන හස්ති සේනා මෙහෙයුමට අලුත් වෙනසක් සිදුකිරිමට රජයෙන් තීරණයක්