Instagram එකට බොරු වයස දාලා එකවුන්ට් හැදුවත් අහුවෙන අලුත් AI ක්‍රමයක්- Meta සමාගමෙන් ලොව පුරා යොවුන් පරිශීලකයින්ට තද නීති
Meta සමාගම සිය වයස තක්සේරු කිරීමේ තාක්ෂණය (Age Estimation Technology) ලොව පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබේ.
සමාගමේ නිල බ්ලොග් සටහනකට අනුව, මෙම වැඩපිළිවෙළ යටතේ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත යොවුන් පරිශීලකයින්ගේ Instagram ගිණුම් ස්වයංක්‍රීයව 'යොවුන් ගිණුම්' (Teen Accounts) ආරක්ෂක සැකසුම් වෙත යොමු කිරීමට නියමිතය.
Instagram ගිණුම් නිර්මාණය කිරීමේදී තමන් වැඩිහිටියන් බවට ව්‍යාජ වයස් තොරතුරු ලබාදී තිබුණද, අදාළ පරිශීලකයින් යොවුන් වියේ පසුවන්නන් බව හඳුනා ගැනීම සඳහා Meta සමාගම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිත කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව, යොවුන් වියේ පසුවන බවට හඳුනාගන්නා පරිශීලකයින් ස්වයංක්‍රීයව වඩාත් ආරක්ෂිත සැකසුම් වෙත මාරු කෙරෙන අතර, ඔවුන්ගේ Instagram පෝෂක (Feeds) තුළ නුසුදුසු අන්තර්ගතයන් දර්ශනය වීම ද සීමා කරනු ඇත.
එමෙන්ම, යොවුන් පරිශීලකයින් සඳහා වයසට ගැළපෙන ආරක්ෂක සැකසුම් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමේ වීඩියෝ දර්ශන නිකුත් කිරීමට ද සමාගම සැලසුම් කර තිබේ.
"අපගේ යෙදුම් භාවිත කරන යොවුන් දරුවන්ට ඔවුන්ගේ වයසට ගැළපෙන අත්දැකීම් ලැබෙන බව සහතික කිරීම සඳහා අපගේ වගකීම අඛණ්ඩව ඉටු කරන්නෙමු" යනුවෙන් Meta සමාගම සිය නිවේදනයේ සඳහන් කර ඇත.
Meta සමාගමට එල්ල වූ විවේචන සහ නීතිමය අභියෝග යොවුන් පරිශීලකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට Meta සමාගම දක්වන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් පසුගිය මාස කිහිපය තුළ දැඩි විවේචන සහ නීතිමය පරීක්ෂාවන්ට එම සමාගම මුහුණ දී තිබේ.
මාර්තු මාසයේදී නිව් මෙක්සිකෝ (New Mexico) ප්‍රාන්තය විසින් ගොනු කරන ලද නඩුවකින් Meta සමාගමට එරෙහිව තීන්දුවක් ලබා දී තිබුණි.
එම නඩුවේදී චෝදනා එල්ල වූයේ Meta සමාගමේ සමාජ මාධ්‍ය වේදිකාවල සැලසුම් හේතුවෙන් දරුවන් අනිෂ්ට පුද්ගලයන්ගේ ගොදුරු බවට පත්වීමේ අවදානම ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම, දරුවන්ට ඇති විය හැකි අනතුරු සහ සිය වේදිකාවල ආරක්ෂාව සම්බන්ධයෙන් පාරිභෝගිකයින් නොමඟ යැවීම පිළිබඳව ද සමාගම වගකිව යුතු බව ජූරි සභාව තීරණය කර තිබේ.
ඒ අනුව, ඊට අදාළ වන්දියක් සහ දඩ මුදල් වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 950කට ආසන්න මුදලක් ගෙවීමට Meta සමාගමට නියෝග කර ඇත. තවද, අගෝස්තු මාසයේදී සමාජ මාධ්‍ය වේදිකා ඇබ්බැහි වීමට හේතු වන ආකාරයෙන් නිර්මාණය කර ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ප්‍රාන්ත නීතිපතිවරුන් කිහිපදෙනෙකු සමඟ ඩොලර් බිලියන 12ක එකඟතාවකට එළඹීමට ද Meta සමාගම කටයුතු කර තිබේ.
එම එකඟතාවයේ කොටසක් ලෙස වේදිකාවල සැලසුම් සහ විශේෂාංග වෙනස් කිරීමටත්, ළමා ආරක්ෂාව සම්බන්ධ කර්මාන්ත ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීමටත් සමාගම එකඟ වී ඇත.
දෛනික භාවිත කාලය සීමා කිරීම, 'Quiet Mode' වැනි තිර භාවිත කාලය පාලනය කිරීමේ පහසුකම් හඳුන්වාදීම සහ නාඳුනන පුද්ගලයන්ගෙන් යොවුන් පරිශීලකයින් ආරක්ෂා කිරීම සඳහා වඩාත් ශක්තිමත් වයස් තහවුරු කිරීමේ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම ද ඊට ඇතුළත් වේ.
සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට ගෝලීය පියවර මේ අතර, TikTok, Snapchat සහ YouTube වැනි අනෙකුත් ප්‍රධාන සමාජ මාධ්‍ය වේදිකා ද යොවුන් පරිශීලකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයකට ලක්ව තිබේ.
යොවුන් වියේ පසුවන්නන් සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම සීමා කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාව වයස අවුරුදු 16ට අඩු පුද්ගලයින් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම ඇතුළු නීතිමය පියවර ගෙන ඇත.
එමෙන්ම, එක්සත් ජනපදයේ ඇතැම් ප්‍රාන්ත ද වයස් සීමා සහිත සමාජ මාධ්‍ය පහසුකම් හඳුන්වාදීම සහ පරිශීලකයින්ගේ වයස තහවුරු කිරීම අනිවාර්ය කිරීම සඳහා නීති සම්මත කර තිබේ.
මේ අතර, යොවුන් පරිශීලකයින් අතර සමාජ මාධ්‍ය ඇබ්බැහි වීම අවම කිරීම අරමුණු කරගත් නව නීතියක් ක්‍රියාත්මක කිරීම වැළැක්වීම සඳහා Meta සමාගම මෑතකදී කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිපතිවරයාට එරෙහිව නඩුවක් ද ගොනු කර තිබේ.
Meta සමාගම විසින් සැලසුම් කර ඇති නව වයස් තක්සේරු කිරීමේ විශේෂාංග ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.