පෝලිම් වැඩේ දුරදිග යයි ! ගෑස් තෙල් ඉල්ලා නීතිඥ සංගමය උසාවියට යයි..?

sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Mar 25, 2022 10:13 AM GMT
krishani

krishani

Report

අවශ්‍ය සියලු පාර්ශ්ව සහ ස්වාධීන විශේෂඥයින්ගේ උපදෙස් වහාම ලබාගෙන ගෑස්, ඉන්ධන, විදුලිය , කිරිපිටි, ඖෂධ සහ ආහාර හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි, කැබිනට් මණ්ඩලයට සහ වගකිවයුත්තන්ට නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කළේ ය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා හිඟවීමෙන් නීතියේ ආධිපත්‍යයට සහ මහජන සාමයට බලපෑමක් වන බවයි.

වහා මේ තත්ත්වය සමනය නොකළ හොත් තවදුරටත් නීතියේ අධිපත්‍යයට සහ මහජන සාමයට බලපෑම් එල්ල විය හැකි බව ඔවුන් සිය පෙත්සම් දෙකෙන් පෙන්වා දී තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා සහ උපසභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය ගොනු කළ මෙම පෙත්සම් දෙකෙන් පෙන්වා දී ඇත්තේ හිඟයකින් තොරව සාධාරණ මිලකට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාදීමට අසමත්වීමෙන් ව්‍යවස්ථාවෙන් තහවුරු වී ඇති ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවයි.

නීතිපතිවරයා, සියලුම කැබිනට් ඇමතිවරුන්, මහබැංකු අධිපතිවරයා, භාණ්ඩාගාර ලේකම්වරයා, අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරුන්, විදුලිබල මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඇතුළු පාරශ්වකරුවන් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර තිබේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය පෙත්සමෙන් අවධාරණය කරන්නේ හිඟයකින් තොරව සාධාරණ මිලකට ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ලබාදීමෙන් සාමානාත්මතාව සහ සාධාරණ රැකවරණයන් තහවුරු කළ යුතු බවයි.

නී.තිඥ ජී. ජී. අරුල් ප්‍රගාසම් මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ආචාර්ය කේ. කණගීස්වරම් ,ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා සහ නීතිඥ සුරේෂ් ඥානරාජ් , නිතිඥ පුලස්ති හේවාමාන්න යන නීතිඥ මණ්ඩලය ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now