අහසින් ගමන් යන්න ශ්‍රී ලාංකිකයන්ටත් අවස්ථාවක් ලැබෙයිද? - මගී ඩ්‍රෝන යානා අත්හදා බැලීම අද කොළඹදී
නියමුවන් රහිත මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා සේවාවක් මෙරට තුළ ක්‍රියාත්මක කිරීමේ මූලික පියවරක් ලෙස එහි පළමු නිල අත්හදා බැලීම අද (11) කොළඹ වරාය නගර පරිශ්‍රයේදී සිදුකිරීමට නියමිතව තිබේ.
චීනයේ Yi Hang සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන eVTOL වර්ගයේ ඩ්‍රෝන යානා මේ සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇත.
විශේෂත්වය වන්නේ සාමාන්‍ය ගුවන් යානා මෙන් ධාවන පථයක අවශ්‍යතාවකින් තොරව සිරස් අතට ගුවන්ගත වීමට සහ ගොඩබැසීමට මෙම යානාවලට හැකියාව පැවතීමයි.
මගී ප්‍රවාහනය, සංචාරක කර්මාන්තය සහ හදිසි සේවා සඳහා මෙම තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මාසයේදී වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබුණි.
කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය ආරම්භයේදී වාණිජ ප්‍රවාහන සේවාවක් ලෙස නොව පරීක්ෂණ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව මාස හයක පමණ කාලයක් කොළඹ වරාය නගර පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් අත්හදා බැලීම් සිදුකිරීමට නියමිතය.
මේ සඳහා මගීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි E216 වර්ගයේ ඩ්‍රෝන යානයක් ද පසුගියදා මෙරටට ගෙන්වා තිබේ. ප්‍රචාලක 16කින්, බැටරි කට්ටල 12කින් සහ ගුවන් යානා පාලන පද්ධති තුනකින් සමන්විත මෙම යානය පරිගණක පද්ධතියක් මගින් පාලනය වන බව සඳහන් වේ.
එමෙන්ම, එක් පාලන මධ්‍යස්ථානයක සිට දුරස්ථව යානය මෙහෙයවීමේ හැකියාව ද ඊට පවතී. හදිසි අනතුරක් හෝ සන්නිවේදන සම්බන්ධතාව බිඳවැටීමක් සිදුවුවහොත් ස්වයංක්‍රීයව ආරක්ෂිත ක්‍රියාමාර්ග වෙත යොමුවීමේ පද්ධතියක් ද එහි අන්තර්ගතය.
මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ගුවන් හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන රැසක සහයෝගය හා සම්බන්ධීකරණය අවශ්‍ය වනු ඇත.
අනාගතයේදී මෙම මගී ඩ්‍රෝන යානා සේවාව ක්‍රියාත්මක කිරීම තුළින් සීගිරිය, පිදුරංගල සහ දූපත් ආශ්රිත සංචාරක ගමනාන්ත වෙත ගුවනින් සංචාරකයින් ප්‍රවාහනය කිරීමේ නව අවස්ථා උදාකර ගැනීමට ද අපේක්ෂා කෙරේ.