මත්ද්‍රව්‍ය තුරන් කරන රජය සමාගම්වලට ගංජා වවන්න අවසර දීපු එකනම් සැකයක්
කෝෂණයකින් රට පුරා ව්‍යාප්ත වූ මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉතිහාසයේ කිසිදු නායකයෙකු නොගත් තීරණාත්මක පියවරක් ගෙන සිටින බවත්, එහෙත් අපනයනය යැයි කියමින් සමාගම් හයකට ගංජා වගා කිරීමට අක්කර 66ක් ලබාදීමෙන් රජයේ මත්ද්‍රව්‍ය මැඩලීමේ වැඩසටහන තුළ දෙබිඩි පිළිවෙතක් පවතින බවත් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (01) ප්‍රකාශ කළහ.
“සුගතදාස ගුරු ක්‍රීඩාංගණයේදී ජනාධිපතිතුමා සපථ කළේ මත්ද්‍රව්‍ය උවදුර විනාශ කිරීමට තීරණාත්මක පියවරක් ගන්නා බවයි. එය රටේ අනාගත පරපුරේ යහපැවැත්මට ඉතා වැදගත් තීරණයකි. අපි එය අගය කරමු. එහෙත් අපනයනය සඳහා යැයි කියමින් ගංජා වගාවට අක්කර 66ක් ලබාදීම ‘හෝදා හෝදා මඩේ දාන’ ක්‍රියාවකි” යැයි හිමියෝ පැවසූහ.
ගංජා වගාවට අවසර ලබාදීම රාජ්‍ය ව්‍යවස්ථාවට සහ 1929 අංක 17 දරණ විෂ අහිංසක පනතට පටහැනි බවත්, එම පනත යටතේ ගංජා වගාව, ගබඩා කිරීම, අපනයනය, ආනයනය හා විකිණීම සපුරා තහනම් බවත් හිමියෝ සිහිපත් කළහ. රේගු, ආයුර්වේද, ආහාර පනත්වලින් ද ගංජා ප්‍රවර්ධනය කළ නොහැකි බවත්, පෙර ආණ්ඩුව බලයෙන් පහ කිරීමට ඩයනා ගමගේ ගංජා ප්‍රවර්ධන ක්‍රියාකාරකම් හේතු වූ බවත් හිමියෝ පෙන්වා දුන්හ.
“මහා සංඝරත්නය, සිවිල් සංවිධාන හා පුරවැසියන් වශයෙන් අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම ගංජා වගා ව්‍යාපෘතිය වහාම නවත්වන ලෙසයි. පාතාලය හා කුඩු මර්දනයට ගත් ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යන්න. දූෂණයට, වංචාවට එරෙහිව පාරට බැස බලයෙන් පහ කළ ජනතාවක් ඉන්න රටක රටට නොගැලපෙන තීරණ රජයේ පැවැත්මට බාධාවක් විය හැකියි” යැයි හිමියෝ අවධාරණය කළහ.
ගංජා අපනයනයට අදාළ සම්පූර්ණ සක්‍යතා අධ්‍යයන වාර්තාව, ගිවිසුම් හා ඉලක්ක රටවල් පිළිබඳ තොරතුරු මහජනයාට ලබාදෙන ලෙසත්, එම රටවල් ගංජා මිලදී ගැනීම ප්‍රතික්ෂේප කළහොත් එම නිෂ්පාදන රට තුළට ආපසු ඒම වැළැක්වීමට ඇති ක්‍රමවේදය පැහැදිලි කරන ලෙසත් හිමියෝ රජයෙන් ඉල්ලා සිටියහ.
“මේ ගැන රටම බලා සිටී. එබැවින් ගංජා වගාවට අවසර දීමේ ක්‍රියාව වහාම නවත්වන ලෙස ජනාධිපතිතුමාගෙන් හා රජයෙන් ඉල්ලා සිටිමු” යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අවසන් කළහ.