ප්ලේන් එකේ ගුවන් සේවිකාවට ගහපු සෞදි කොල්ලට නඩු
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක ගුවන් සේවිකාවකට පහර දී, තුවාල කර තර්ජනය කිරීම සම්බන්ධයෙන් සෞදි ජාතිකයෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝධාරගම අද (3) මාස තුනක සිර දඬුවමක් නියම කළ අතර එම දඬුවම වසර පහකට අත්හිටුවන ලදී.
ගුවන්තොටුපළ පොලිසිය විත්තිකරුට එරෙහිව පහරදීම සහ තර්ජනය කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේ චෝදනා ගොනු කළ අතර, සිර දඬුවමට අමතරව විත්තිකරුට රුපියල් 10,000 ක දඩයක් ද නියම කළේය.
සිද්ධිය පිළිබඳ විස්තර ලබා දෙමින් ගුවන්තොටුපළ පොලිසිය අධිකරණයට පැවසුවේ ඔක්තෝබර් 26 වන දින උදෑසන සෞදි අරාබියේ රියාද් සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකදී මෙම ප්‍රහාරය සිදු වූ බවයි.
කටුනායක ගුවන්තොටුපළට ගුවන් යානය ගොඩබෑමට ආසන්නව සිටියදී, වින්දිත ගුවන් සේවිකාව සියලුම මගීන්ට ආසන පටි සවි කරන ලෙස දැනුම් දුන් බවත්, එම අවස්ථාවේදී විත්තිකරු උපදෙස් නොසලකා හැර ගුවන් සේවිකාව සමඟ ආරවුලක් ඇති කර ගත් බවත්, එය පහරදීමට හේතු වූ බවත් විමර්ශන නිලධාරියා අධිකරණයට පැවසීය.