හෝමුස් සමුද්‍ර සන්ධිය වෙනුවට රතු මුහුද - ගෝලීය තෙල් මිල තවදුරටත් ඉහළ යාමේ අවදානමක්
පසුගිය මාස දෙකක කාලය තුළ ලෝක වෙළෙඳපොළට සැපයීමට තිබූ බොරතෙල් බැරල් බිලියනයකට ආසන්න ප්‍රමාණයක් අහිමි වී ඇති බව සෞදි අරාබියේ සවුදි ඇරම්කෝ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අමීන් නසාර් මහතා පවසයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින නාවික ගමනාගමන බාධා හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ දැඩි අර්බුදයකට ලක්ව ඇති බව ඔහු සඳහන් කළේය.
අද පැවති විශේෂ ප්‍රකාශයකදී ඔහු අවධාරණය කළේ, තෙල් සැපයුම් මාර්ග යළි විවෘත කළද, අඩාල වූ වෙළෙඳපොළ යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බවයි.
අමෙරිකා - ඊශ්‍රායල ගැටුමත් සමඟ උද්ගත වූ කලාපීය නොසන්සුන්තාවය හේතුවෙන් ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම ගෝලීය බලශක්ති සැපයුමට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවද සඳහන් වේ.
මෙම තත්ත්වය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිලද වේගයෙන් ඉහළ ගොස් ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
“සැපයුම් මාර්ග යළි විවෘත කිරීම සහ අහිමි වූ බැරල් බිලියනයක වෙළෙඳපොළක් යථා තත්ත්වයට පත් කිරීම යනු වෙනස් කරුණු දෙකක්” යැයි අමීන් නසාර් මහතා ප්‍රකාශ කළේය.
හෝමුස් සමුද්‍ර සන්ධිය මඟහරිමින් රතු මුහුද හරහා බොරතෙල් ප්‍රවාහනය කිරීම සඳහා ඇරම්කෝ සමාගම සිය “නැගෙනහිර - බටහිර නල මාර්ගය” භාවිත කරන බවද ඔහු පැවසීය.
එමෙන්ම මෙම අර්බුදකාරී තත්ත්වය මධ්‍යයේ වුවද, ඇරම්කෝ සමාගම පළමු කාර්තුව සඳහා සියයට 25ක ශුද්ධ ලාභ වර්ධනයක් වාර්තා කර ඇති බවද සඳහන් වේ.
ආසියානු කලාපය තවදුරටත් ගෝලීය බලශක්ති ඉල්ලුමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය බවද අමීන් නසාර් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.