මාලිමා රජයට තවත් බරපතළ චෝදනාවක් - ලොක්කෙක් ඉල්ලා අස්වෙයි
ජාතික ජන බලවේග රජය මඟින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTI Commission) අකර්මන්‍ය කිරීමට පියවර ගෙන ඇති බවට සිවිල් ක්‍රියාකාරී කීර්ති තෙන්නකෝන් මහතා චෝදනා කර ඇත.
ඒ අනුව ස්වාධීන වෘත්තීය සමිති නියෝජනය කරන සිවිල් සංවිධාන එකතුවක් සඳහා හෝටල් නිපොන්හි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ තෙන්නකෝන් මහතා සඳහන් කළේ, තොරතුරු කොමිසමේ සාමාජිකයෙකුව සිටි නීතිඥ ජගත් ලියනාරච්චි මහතා මෑතකදී සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ එම ආයතනයේ ස්වාධීනත්වයට රජය මඟින් එල්ල කරන ලද බලපෑම් හේතුවෙන් බවයි.
එසේම ඔහු පෙන්වා දුන්නේ තොරතුරු ලබාගැනීමේ ක්‍රියාවලිය අවහිර කරමින්, කොමිසමේ නිදහස සීමා කිරීමට රජය විසින් ක්‍රියාත්මක කරන ලද අදූරදර්ශී වැඩපිළිවෙළ මීට ප්‍රධාන හේතුව වී ඇති බවයි.
එමෙන්ම කැෆේ (CaFFE) සංවිධානයේ හිටපු ප්‍රධානී තෙන්නකෝන් මහතා මෙහිදී අවධාරණය කර ඇත්තේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද තොරතුරු දැනගැනීමේ පනතට පටහැනිව ක්‍රියා කරන ලෙසත්, තොරතුරු ලබා නොදෙන ලෙසත් රජය විසින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත උපදෙස් දී තිබෙන බවයි.
එමඟින් ජාතික ජන බලවේග රජය තොරතුරු පනත හෑල්ලුවට ලක් කර තිබෙන බවට ද ඔහු චෝදනා කර ඇත.
කෙසේ වෙතත් කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේ ප්රජාතන්ත්රවාදී ආයතනවල පැවැත්ම රට තුළ දැනට පවතින තත්ත්වය භයානක බවත්, විගණකාධිපතිවරයෙකු පත් කිරීමට අපොහොසත් වීම මෙන්ම රජයට සම්බන්ධ පාර්ශවයන් විසින් නීතිපති දෙපාර්තමේන්තුව ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්රහාරයන් මඟින් ප්රජාතන්ත්රවාදී ආයතන පද්ධතියම බිඳ වැටීමේ අවදානමක් පවතින බවයි.