රජරටට අවුරුද්දක් තිස්සේ උපකුලපතිවරයෙක් නෑ- උපකුලපතිවරයෙක් ඉල්ලා ආචාර්යවරු විරෝධයේ
වසරකට ආසන්න කාලයක් රජරට විශ්වවිද්‍යාලයට උපකුලපතිවරයෙකු නොපත්කිරීම හේතුවෙන්, එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් අද (30) විරෝධතාවක් හා සංකේත වැඩවර්ජනයක් පැවත්වීය.
ආචාර්යවරුන් පෙන්වා දුන්නේ, උපකුලපති තනතුර හිස්ව පවතින නිසා විශ්වවිද්‍යාලයේ සුබසාධන කටයුතු, සිසුන්ගේ අධ්‍යාපන අවශ්‍යතා, පර්යේෂණ හා පරිපාලන ක්‍රියාකාරකම් දැඩි ලෙස බාධා වී ඇති බවයි.
ඒ නිසා ඒ සම්බන්ධයෙන් අවධානය ඔවුන් ඉල්ලා මෙම විරෝධය දියත් කර තිබේ. මෙම විරෝධතාවට ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සහ රජරට විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය නියෝජනය කරමින් ආචාර්යවරුන් බහුතරයක් එක්ව සිටියහ. ඒ අනුව, ඔවුන් අද දිනය පුරාවට අධ්‍යයන, පර්යේෂණ සහ පරිපාලන කටයුතු සියල්ලෙන් ඉවත්ව සිටියහ.
රජරට විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය මීට මාස හතරකට පෙර පාලක සභාවට උපකුලපතිවරයෙකු පත්කරන ලෙස ඉල්ලීමක් කළ අතර, පාලක සභාව එම තනතුර සඳහා තුන්දෙනෙකුගේ නාම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබුණද, ඒ පිළිබඳ අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති බව සඳහන් වේ.
ආචාර්යවරුන් අවධාරණය කරන්නේ, එළැඹෙන සඳුදා වන විට දක්වා යථා තත්ත්වය නොවෙනස් නම්, ඔවුන් විසින් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි.