පෞද්ගලික අංශයේ වැටුප ඉහළට - මෙන්න විස්තරේ
පෞද්ගලික අංශයේ අවම වැටුප ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි රු 3,000කින් වැඩි කර ඇත. ඒ අනුව අවම වැටුප රු 27,000 සිට රු 30,000 දක්වා ඉහළ යන බව නිවේදනයක් නිකුත් කරමින් කම්කරු කොමසාරිස් ජනරාල්, එච්. එම්. ඩී. එන්. කේ. වටලියද්ද මහත්මිය සඳහන් කර ඇත.
මෙම වැටුප් වැඩිකිරීම 2025 අංක 11 දරන සේවකයන්ගේ ජාතික අවම වේතන සංශෝධන පනතේ විධිවිධාන අනුව සිදුව තිබේ.
කම්කරු කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කරන ආකාරයට මෙම සංශෝධන පනත නිසිලෙස ක්‍රියාත්මක කිරීමේදී, අතරමැදියෙකු හෝ කොන්ත්‍රාත්කරුවකු හරහා යම් කර්මාන්තයක හෝ සේවාවක සේවයේ යොදවා ගනු ලබන සේවකයකු සම්බන්ධයෙන් ආසන්නතම සේවායෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයා ද ඇතුළුව සෑම සේවායෝජකයකුම එකී පනතේ නියමයන් ප්‍රකාරව බැඳී සිටියි.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන ආකාරයට සංශෝධිත පනතේ 4 වන වගන්තිය ප්‍රකාරව අයවැය සහන දීමනාවන් එකතු කිරීම හැරුණු කොට සේවකයෙකු විසින් 2025.03.31 දින වන විට ලබමින් සිටි වෙනත් කිසිම දීමනාවක් අවම වේතනය සඳහා හිලවු කිරීමට යොදා නොගත යුතුය.
ඒ අනුව මෙම වැටුප් වැඩි කිරීම අනුව සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාළ කර ගැනීමේ වගකීම සේවායෝජකයන් වෙත පැවරෙයි.
යම් හෙයකින්, නිසි පරිදි ගෙවීම් නොකරන සේවායෝජකයන් වෙතොත් ඒ සම්බන්ධයෙන් වන පැමිණිලි cms.labourdept.gov.lk ඔස්සේ කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිලි කළමනාකරණ පද්ධතියට ඇතුළත් කිරීම හෝ ළඟම පිහිටි කම්කරු කාර්යාලයට ලිඛිතව ඉදිරිපත් කළ හැකි බව අදාල නිවේදනයේ සදහන් වේ.