දෛනික සේවක වැටුප ඉහළට - රජයෙන් තීරණයක්
අමාත්‍ය මණ්ඩලය විසින් වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා 2026 අයවැය යෝජනා අනුව ලබාදීමට නියමිත සහන ක්‍රමවේදයට අනුමැතිය ලබා දී ඇත.
2026 අයවැය ඉදිරිපත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් වතු කම්කරුවන්ට ඔවුන්ගේ සේවයට සරිලන සාධාරණ දෛනික වේතනයක් ලබාදීමේ අරමුණින්, වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1,550 දක්වා ඉහළ නැංවීමටත්, පැමිණීමේ දෛනික දිරි දීමනාවක් ලෙස රුපියල් 200ක් ගෙවීමටත් යෝජනා කළේය.
ඒ අනුව රජය විසින් එම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා 2026 වර්ෂය සඳහා රුපියල් මිලියන 5,000ක ප්‍රතිපාදන අයවැය මඟින් වෙන් කර ඇත. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් 2026 ජනවාරි 01 දින සිට මාස හයක් සඳහා අදාළ දිරි දීමනාව වැවිලි සමාගම් හරහා ගෙවීමටත්, ඉන් අනතුරුව එය සෘජුවම වතු කම්කරුවන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙත බැර කිරීමටත් සියලු පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කරමින් සැලසුම් කර තිබේ.
මෙම ක්‍රමවේදය අනුව වතු කම්කරුවන් වෙත දිරි දීමනාව ගෙවීම සඳහා කම්කරු අමාත්‍යවරයා සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා එක්ව ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.