අනුරාධපුරයේ කොයිතරම් නියඟය තිබුණත්, ශ්‍රී මහා බෝධියට වහින මල් වැස්ස…
දිනය දැනට වසර කිහිපයක් අතීතයට ඇදී යන්නේය. අනුරාධපුර ප්‍රදේශයට ගිනියම් හිරු කිරණ අඩුවක් නැතිව වැටෙයි. ගහකොළ පවා රත් පැහැවී ඇති සෙයකි. හමන සුළඟත් උණුසුම්ය. බලන බලන පැත්තේ මිරිඟුවක් මැවෙන්නට තරම් ඒ පෑවිල්ල දරුණුය. වියළීගිය ඉලුක් පඳුරු සුළඟට හසුව ඒ මේ අත විසිරෙමින් අරමුණකින් තොරව සෙලවෙයි. මහ මඟ යනෙන මිනිසුන්ගේ මුහුණු පමණක් නොව, මහා රූස්ස ගහකොළ පවා නිහඟයෙන් හෙම්බත්ව ඇති අයුරු පැහැදිලිව පෙනුණේය.
වෙනදාට ජලය පිරුණු මල් පිපුණු ඇලදොළ වැව් අමුණු සිඳී ගොසිණි. ඇතැම් ඒවායේ කඩින් කඩ ඉතිරිවූ ජලය ඩිංගක් හැරෙන්නට අනෙක් සියලු තැන් පුපුරා ඉරිතැළී ගොසිණි. එහෙත් කොතරම් කර්කශ වුවද, දුෂ්කර වුවද ඒ පොසොන් මාසය නිසාදෝ අනුරාධපුරය ජනයාගෙන් පිරීගිය ආකාරයක් දක්නට ලැබිණි. පූජා නගරය පුරා තැන තැන විසිරුණු බැතිමතුන් මද්දහනේ දාහය නිවාගන්නේ ගසක් යටටවී පරිස්සමට ගෙන ආ ජල බිඳකින් උගුර තෙමාගනිමිනි.
තවකකු තැඹිලි ගෙඩියක වතුරෙන් උගුර තෙමාගනිද්දී තවත් පිරිසක් පැණි කොමඩු ගෙඩියක රසයෙන් දාහය නිවා ගත්තේය. මේ දසුන වසරේ මාස කිහිපයක් තුළ අනුරපුර පුදබිම අවටත්, අනුරපුර දිස්ත්‍රික්කයේත් දක්නට ලැබෙන සාමාන්‍ය තත්ත්වයක් වුවද එතරම් කර්කශ නියං සමයේ පවා බුදුදහම කෙරේ සොබාදහමද නම්‍යශීලී වූ පුවත් අනන්තවත් අසන්නට දකින්නට ලැබෙයි.එවන් අපූරු අත්දැකීමක් ලද විමලදාස පොල්ගහවෙල ප්‍රදේශයේ සිට අනුරපුර පුදබිම වඳින්නට ගිය බැතිමතෙකි.
මේ, ඔහු තම අත්දැකීම පැවැසූ ආකාරයයි. ‘හැම අවුරුද්දකම අනුරාධපුරේ යන එක මගේ පුරුද්දක් වෙලා තිබුණෙ. වෙසක් පොසොන් වෙනකොට මොන වැඩේ තිබුණත් මං අනුරාධපුරේ යන්න ලෑස්ති වෙනවා. ඒ කාලේ දැන් වගේ නෙවෙයි, සල්ලි බාගෙත් එහෙමකට කියලා අපි ළඟ නෑ. එදිනෙදා කුලියක් මලියක් කරලා තමයි දවසෙ වියදම වුණත් පිරිමහ ගත්තේ. හැබැයි ඒ මොන අඩුපාඩුව තිබුණත් මට කවදාවත් අනුරාධපුරේ යන ගමනට ඕනෙ කන මුදල හිඟ වෙලා නෑ. එහෙම මුදල් නැතිව කියලා ගමන නොයා ඉන්න වෙලත් නැහැ. ඒ නිසා මං නොවරදවාම ඒ ගමන ගියා. දැනට අවුරුදු ගානකට කලින් හරි අමුතු දෙයක් වුණා. එදා තමයි එහෙම අත්දැකීමක් මං ලැබුවෙ.
හැබැයි ඊට පසුව එවැනි දේවල් සෑහෙන්න මං අත්විඳලා තියෙනවා.
ඉතින් ඔය මං කියපු මුල් දවසෙ මං අපේ ගමේ තව කිහිප දෙනෙකුත් සමගයි ගියේ. එදා මං අපේ කිහිප දෙනා සමග උඩ මළුවට ගිහින් වැඳපුදාගෙන එන්න හදනකොට මගේ හිත කිව්වේ තව ටිකක් ඉන්න කියලාමයි. ඒ වෙලාවෙ හොඳටම අව්වත් සැරයි. අපේ අනිත් අයට වතුර තිබහයි කියලා එයාලා පහළ විශ්‍රාම ශාලාව පැත්තට ආවා. මං උඩ මළුවෙ නතර වෙලා ශ්‍රී මහා බෝධිය දිහා බලාගෙන හිටියා. බැම්මට හේත්තු වෙලා ඉද්දී තද අවුවෙන් ආරක්ෂා වෙනවා. හිතටත් සහනයක් දැනෙනවා. ඒ නිසා මගේ ඇස් දෙකත් ඉබේටම පියවුණා.
මං ඇස් පියාගෙන කල්පනා කරමින් හිටියා. ඔය අතරේ මාව ගැස්සිලා ඇහැරුණා වගේ වුණා. මං ඇස් ඇරලා බලද්දී මාව හොඳටම තෙමිලා ශ්‍රී මහා බෝධීන් වහන්සේත් හොඳටම තෙමිලා. ඒ ඩිංගට තදටම වැහැල තිබුණා. මං ඉක්මනට නැඟිටලා වටපිට බලලා විශ්‍රාම ශාලාව පැත්තට ඇවිදගෙන ගියා. මං යනකොට අපේ කට්ටිය මහ පුදුමයෙන් වගේ බලාගෙන ඉන්නවා. මගෙන් අහනවා ඇයි මේ වතුරකට වැටුණද කියලා. මං කිව්වා නෑ උඩ මළුවට වැස්සා, ඇයි මෙහාට වැස්සේ නැද්ද කියලා. කට්ටිය හොඳටම පුදුම වෙලා මගේ දිහා අමුතු විදියට බලනවා.
මං මොනවට හරි බයවෙලා කියලා තමයි කට්ටියගෙ හිතේ. ඇත්තටම එයාලා හිටිය හරියට වැහැලා තිබුණෙත් නෑ තමයි. පස්සේ බැරිම තැන කට්ටියව උඩ මළුවට එක්කරගෙන ගිහින් පෙන්නුවාම මගේ කතාව පිළිගත්තා. එතැන හිටිය හාමුදුරුනමකට මගේ කතාව ඇහිලා උන්වහන්සේ කිව්වා මේ උපාසක මහත්තයා කියලා තියෙන්නේ බොරු නෙවේ, කතාව ඇත්ත, වැස්ස වහිනකොට මාත් හිටියා කියලා.
ඊට පස්සේ උන්වහන්සේ අපේ අයට කිව්වා ඔය විදියට මහ නිහඟ කාලෙටත් ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ට ඕනෙ ජලය ලැබෙන්න මල් වැහි වහින එක සාමාන්‍ය දෙයක් කියලා. තව කිව්වා බසවක්කුලම වැවෙන් අහසට නැඟෙන ජල රැලි හුළඟට මැදිවෙලා ගහගෙන ඇවිත් මේ විදියට බෝ හාමුදුරුවන්ට වැස්සක් විදියට වැටෙනවා කියලත්. ඒ දර්ශනය ඊට වසර කිහිපයකට කලින් උන්වහන්සේ දැක්කා කියලත් කිව්වා. මෙවැනි බොහොමයක් හාස්කම් බෝ හාමුදුරුවන්ගෙ ඉසව්වෙ සිද්ධ වෙලා තියෙනවා. ඊට පෙර එවැනි කතා මං විශ්වාස කළේ නැතත් අර සිදුවීමෙන් පස්සෙ මං ඒවා විශ්වාස කළා.’ මේ එක් අත්දැකීමකි.
මෙවැනි ලක්ෂ සංඛ්‍යාත අත්දැකීම් ලද්දෝ අනන්තවත් මේ සමාජයේ අප අතර සිටිති. ඇතැම් ඒවා කිව්වද කිසිවකු විශ්වාස නොකරනු ඇතැයි සිතා ඒ බහුතරයක් දෙනා නිහඬව සිටියද ඒ මහා හාස්කම් සමුදාය රහසක් ලෙස සඟවා තැබිය නොහැකිය. අදද රජරට බොහෝ ගොවියෝ සිය වගාවන් ආරම්භයේ සිට පලදාව නෙළාගන්නා තුරු එහි ආරක්ෂාව පතන්නේ ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගෙනි.
මේ නිසාම කෙතට කුඹුරට වපුරන බව බෝග ජය ශ්‍රී මහා බෝ සමිඳු අබියස තබා රැගෙන ගොස් වපුරන්නට ගොවියෝ පුරුදුව සිටිති. එමෙන්ම නෙලූ අස්වැන්නේ මුල් කොටස පූජා කරන්නේද ශ්‍රී මහා බෝ සමිඳුන්ටය. අනෙකුත් වගා කටයුතුවලදී ඒ ඒ වගාවන්ට ආශ්‍රිත විවිධ විපත් කරදර විනාශ ආදියෙන් තමන්වත් වගාවත් ආරක්ෂා කර දෙන ලෙස අයැදින්නේද බෝ සමිඳුන්ගෙනි.
රටටත් රටේ නායකයන්ට සහ ජනතාවටත් විපතක් කරදරයක් සිදුවීමට යන මොහොතක ඒ බව මුලින්ම දැනුම්දීමේ විවිධ වෙනස්කම් පෙන්නුම් කිරීමේ අමුතුව බලයක්ද බෝ සමිඳුන්ට ඇතැයි පැරැන්නෝ කියති. ඒ අනුව රටේ බොහොමයක් නායකයන්ට යම් යම් විපත් සිදුවූ අවස්ථාවල එම සිදුවීමට දින කිහිපයකට පෙර ශ්‍රී මහා බෝ සමිඳුගේ අතු ශාඛා බිඳී ගිය බවට පැරැන්නෝ අතර අත්දැකීම් වෙති.
එමෙන්ම සුනාමි ව්‍යසනයට පෙරද මහ බෝ සමිඳු අබියස බටහිර පැත්තේ බැම්මක් බිඳීගොස් ඇති අතර, ඒ මොහොතේ තතු දන්නෝ රටේ බටහිර දෙසට විපතක් සිදුවිය හැකි බවට අනුමාන පළකර ඇත. මෙවැනි කරුණු කාරණා රාශියක් සමග ජයශ්‍රී මහා බෝ සමිඳුගේ අනුහස් ගැන බෞද්ධ ජනයා අතර ඇති අත්දැකීම් අතිවිශාලය. එහෙයින් රටට ආදරය කරන්නන් සේම රටවැසියාද මහ බෝ සමිඳුන් ගැන ගෞරවයෙන් අවධානයෙන් පසුවීම වැදගත් නොවේද?
කුමාර රත්නායක - මව්රට
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
