අද දවසේ කාලගුණයෙන් වෙනස්ම පෙරළියක්

Report

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (21) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කෙරේ.

ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත් මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආශ්‍රිතව ද විටින් විට පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක තද සුළං හමනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වාත්, මුලතිව් සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා පුත්තලම දක්වාත් වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.