දුම්රියේ යන්නත් බය හිතෙන ඇඟ හිරි වැටෙන චෝදනාවක් සමඟ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය මඟින් මාස ගණනාවක් වසා දමා තිබූ තලේමන්නාරම මාර්ගයේ දුම්රිය සංඥා යථා තත්ත්වයට පත්කිරීමකින් තොරව අමාත්‍යවරයාගේ උපදෙස් අනුව දුම්රිය ධාවනයට පියවර ගෙන ඇති බවට චෝදනා කරයි.
ඒ අනුව එහි සභාපති සුමේධ සෝමරත්න මහතා ප්‍රකාශ කළේ අනාරක්ෂිත ලෙස දුම්රිය ධාවනය කිරීමට පියවර ගැනීම අනුමත කළ නොහැකි බවයි.
"දිට්වා සුළිකුණාටුවෙන් පස්සේ වසරකට ආසන්න වෙද්දිත් අවශ්‍ය මගී පහසුකම් යථාවත් කිරීමේ ගැටලු තිබෙනවා. මේ වනවිට මාස ගණනාවක් ධාවනය අහිමිවී තිබූ තලේමන්නාරම් මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කරන්න දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා. අමාත්‍යවරයාගේ දැනුම්දීම මත ක්ෂණිකව ආරම්භ කළා කියන දේ තමයි එන්නේ. හැබැයි මේ මොහොත වනවිට දුම්රිය ස්ථාන ගණනාවක සියලු කටයුතු අත්හිටුවලා කාලාන්තරයක් තිබිලා ගමන් ආරම්භ කරනවා. සංඥා පද්ධතිය නැවත යථාවත් කරලා නැහැ. ගැටලු රාශියක් තිබෙනවා. අනාරක්ෂිතව දුම්රිය ධාවනය කරන්න නැවත පටන් අරගෙන."
එසේම ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ සුමේධ සෝමරත්න මහතා කියා සිටියේ,
"අමාත්‍යවරයා හැමදාම කියන්නේ මේක හරි පීල්ලට ගේන්න නිලධාරීන්ට කෝච්චියට නගින්න කියලා. හැබැයි වෘත්තීය සමිතිවලට නම් නගින්න කියන්නේ නැහැ. අපි හොඳ අදහස් දෙනවා..අපි ආණ්ඩු විරෝධී කතා නෙමෙයි කරන්නේ..මේවා කියද්දී කියද්දී.. අපිව හැමදාම එළියෙන් තියලා.. කිසිදු සාධනීය උත්තර ලබානොදී මේ කඩිමුඩියේ දුම්රිය ධාවනය ආරම්භ කිරීම පිළිබඳව අපි විරෝධය පළ කරනවා." "
මැදවච්චියෙන් එහාට දීර්ඝ කාලයක් වහලා තිබ්බ සංඥා පද්ධතිය මේ වනවිට ක්‍රියා විරහිත තත්ත්වයක තිබියදී ගමන් ආරම්භ වෙන්නේ අලුයම් කාලයේ. අනතුරුවලට අත වනමින් මේ ගෙනියන ක්‍රමවේදයට වගකිවයුත්තෝ කවුද ?"