මධ්‍යම කඳුකරයේ ගල් කොරි බලපත්‍රවල බරපතල ගැටලු

Report

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය (GSMB) විසින් මධ්‍යම කඳුකරයේ පවත්වාගෙන යන ගල් කොරි සඳහා නිකුත් කර ඇති බලපත්‍රවල බරපතල ගැටලු රැසක් ඇති බව එම කාර්යාංශයේ වාර්තාවලින් අනාවරණය වී තිබේ.

මෙම බලපත්‍ර නිකුත් කිරීමේදී ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයෙන් (NBRO) ලබාගත යුතු නායයෑම් අවදානම පිළිබඳ වාර්තාව අනිවාර්ය වුවද, ඇතැම් බලපත්‍ර සඳහා එවැනි වාර්තා ලබාගෙන නොමැති බවත්, තවත් බලපත්‍ර සඳහා ලබාගත් වාර්තා ගැටලුසහගත බවත් වාර්තාවල සඳහන්ය.

මේ හේතුවෙන් සියලුම ගල් කොරි බලපත්‍ර අධීක්ෂණය කිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සහ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයෙන් ඒකාබද්ධ කමිටුවක් පත්කිරීමට අවධානය යොමු වී ඇති බවද වාර්තා වේ.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයහි 2022 වාර්ෂික වාර්තාවට අනුව, මෙම කැණීම්කරුවන්ගෙන් ආර්ථික ජීව්‍යතා වාර්තා ලබාගෙන ඇති නමුත්, එහි සඳහන් කොන්දේසි පිළිබඳ වසර ගණනාවක් තිස්සේ පරීක්ෂාවන් සිදුකර නොමැති බව පැවසේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ 1992 අංක 33 දරන පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 52(2) වගන්තිය අනුව කැණීම්වලින් පසු භූමිය පුනරුත්ථාපනය කිරීම සඳහා බැංකු ඇපකර ලබාගත යුතු වුවද, ඒවා විධිමත්ව ලබාගෙන නොමැති බවයි. එසේම කළුගල් කැණීම්වලදී පොළොව මට්ටමෙන් පහළට කැණීම් සිදු නොකළ යුතු බව බලපත්‍ර කොන්දේසිවල සඳහන් වුවද, බොහෝ ස්ථානවල ගැඹුරු වළවල් හාරා ඇති නමුත් ඒවාට එරෙහිව නීතිමය පියවර ගෙන නොමැති බවද විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම සියලු වාර්තා අධ්‍යයනය කරමින් අදාළ බලපත්‍ර සහ ස්ථාන පරීක්ෂා කිරීමේ වගකීම ඉහත සඳහන් කමිටුවට පැවරෙනු ඇති බවද පැවසේ. මෙම ගැටලු නිසා රජයට බිලියන ගණනින් ආදායම් අහිමි වී ඇති බවත්, නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල බලපත්‍ර අත්හිටුවීමට භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ  සූදානම් බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.