පුටින්ගේ කළු පටිය ගැලවෙයි...ඇමරිකාවෙනුත් රතු එළි දල්වයි..

Ukraine American Russian Putting
By Aruna Mar 01, 2022 07:23 AM GMT
Aruna

Aruna

Report

සිය ගුවන තහනම් කලාපයක් කිරීමට යුක්රේන ජනාධිපතිවරයා දරන උත්සාහයට ඇමරිකාවේ එකඟතාව පළ නො වී ඇති බව වාර්තා වනවා.

ධවල මන්දිර ආරංචි මාර්ග සඳහන් කරන්නේ, එම ක්‍රියා කලාපයට අනුකූලතාව දැක්වීම හරහා ඇමෙරිකාව රුසියාව සමග සෘජු යුධ ගැටුමකට ඇද දැමෙන බවයි.

රුසියානු හමුදාවන්ගෙන් නිරන්තරයෙන් එල්ල වන ෂෙල් වෙඩි සහ මිසයිල ප්‍රහාර හේතුවෙන් සිය ගුවන් කලාපය තහනම් ගුවන් කලාපයක් ලෙස නම් කරන බව යුක්රේන ජනාධිපතිවරයා ඊයේ ප්‍රකාශ කළා.

ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ, යුක්‍රේන අගනුවර වන කිව් වෙත ඇතුළු වීම සඳහා රුසියානු හමුදා සහ සන්නද්ධ රට රථ කිලෝමීටර් 50ක පමණ දිගු පෝලිමක රැඳී සිටින අවස්ථාවකදීයි.

ජාත්‍යන්තර චන්ද්‍රිකා ඡායාරූප රුසියානු හමුදාවන්ගේ මෙම පෙළගැස්ම මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබුණා.

කෙසේ වෙතත් රුසියානු හමුදාවන්ට මෙතෙක් යුක්රේනයේ අගනුවර සම්පූර්ණ පාලනය අත්පත් කර ගැනීමට හැකියාවක් ලැබී නැහැ.

මේ අතර සිය විමුක්ති අරගලය සඳහා සහයෝගය දැක්වීමට කැමති වෙනත් රටවල හමුදා සහ සන්නද්ධ කණ්ඩායම්වලට ඒ සඳහා එක්වන ලෙස යුක්රේන ජනාධිපති වොලදමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, මෙලෙස සිය සටනට සහයෝගය දැක්වීම සඳහා එක්වන ඕනෑ ම ආකාරයක සන්නද්ධ කණ්ඩායම් පිළිගැනීමට සිය හමුදාවන් සහ රට වැසියන් කැමැත්තෙන් සිටින බවයි.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ගෞරවනීය ටයිකොන්ඩෝ කළු පටිය නැවත කඳවීමට ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය තීරණය කර තිබෙනවා.

ලෝක ටයිකොන්ඩෝ සම්මේලනය විසින් මීට පෙර රුසියානු ජනාධිපතිවරයාට ටයිකොන්ඩෝ ක්‍රීඩාව සඳහා ගෞරවනීය කළු පටියක් ප්‍රදානය කර තිබුණා.

කෙසේ වෙතත් රුසියානු ජනාධිපතිවරයාගේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් මෙම ගෞරවනීය කළු පටිය ඉවත් කිරීමට යි ලෝක සම්මේලනය තීරණය කර ඇත්තේ.

මේ අතර ලෝක පාපන්දු සම්මේලනය හා යමින් ජාත්‍යන්තර රග්බි සංගමය ද රුසියාව සහ බෙලරුසියාව යන රටවල් දෙකේ ම සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර රග්බි සංගමය සඳහන් කරන්නේ, නැවත දැනුම් දෙන තුරු ඔවුන්ගෙ සාමාජිකත්වය අත්හිටුවන බවයි.

මේ අතර මාස්ටර් කාර්ඩ් (mastercard) ලෝක ගෙවීම් ජාලය ද රුසියාව තුළ ඔවුන්ගේ සියලු ක්‍රියාකාරීත්වයන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මේ අනුව මාස්ටර් කාර්ඩ් (mastercard) ගෙවීම් වේදිකාව උපයෝගී කරගෙන මින් ඉදිරියට රුසියාව තුළ භාණ්ඩ හා සේවාවන් වෙනුවෙන් කිසිදු ගෙවීමක් සිදු කළ නො හැකි වනු ඇති.

මේ අතර රුසියාව බෙලරුසියානු විශේෂ හමුදා ඒකක සිය රට තුළ මෙහෙයුම් කටයුතු සඳහා කැඳවීමට සූදානම් වන බවට යුක්‍රේනය චෝදනා කරනවා.

යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීමට පෙර රුසියාව සහ බෙලරුසියාව එක්ව පසුගිය සති කිහිපය මුළුල්ලේ දැවැන්ත යුද අභ්‍යාස ගණනාවක් පැවැත්තුවා.

මේ සඳහා එක් ව සිටියේ බෙලරුසියානු විශේෂ හමුදා ඒකක.

ඔවුන්ට යුක්රේන භූමිය සම්බන්ධ හසල දැනුමක් ඇති අතර ඔවුන් දැඩි කටුක තත්ත්වයන් යටතේ සටන් වැදීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ හමුදා කණ්ඩායම් ලෙස සැළකෙනවා.

කෙසේ වෙතත් මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් බෙලරුසියානු ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ, සිය හමුදාවන් යුක්රේන - බෙලරුසියානු දේශසීමාවේ ආරක්ෂක කටයුතුවල නිරත වීම හැරෙන්නට වෙනත් කිසිදු ප්‍රහාරක හෝ මෙහෙයුම් කටයුතු සඳහා යොමු කර නො මැති බවයි.

මේ අතර ඇමරිකානු සෙනෙට් මණ්ඩල සභික ක්‍රිස් මර්ෆි සිය පෞද්ගලික ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක්යක් නිකුත් කරමින් සඳහන් කළේ යුක්රේනය ආක්‍රමණය කිරීමේ දී රුසියාව සකසා ගෙන සිටි මූලික සැලසුම් සියල්ලට ම පසුපසින් ඔවුන් මේ වන විට සිටින බව යි.

මේ පසුබෑමට විශේෂයෙන් ම හේතු වී ඇත්තේ, යුක්රේනියානුවන්ගේ අදහාගත නො හැකි දරුණු ප්‍රතිරෝධය බවයි ඔහු සඳහන් කරන්නේ.

එමෙන්ම මෙම ගැටුමට එක් ව සිටින රුසියානු හමුදාවන්ට ලබා දී ඇති පහසුකම්, උපකරණ සහ සන්නිවේදන දුර්වලතා ද මේ සඳහා බලපෑම් කර ඇති බව යි ඔහු පවසන්නේ.

ඔහුගේ තක්සේරුව අනුව රුසියානු හමුදාවන්ට යුක්රේනයේ කිව් අගනුවර පාලනය සහමුලින් ම අත්පත් කර ගැනීම සඳහා තවත් සති කිහිපයක් ගත වනු ඇති.

එමෙන්ම එම අවසන් ගැටුම් දරුණු ලේ වැගිරීම් ඇති විය හැකි බිහිසුණු සටන් වන බවටත් ඔහු අනාවැකි පළ කරනවා.

ඒ මේ වන විට යුක්රේන වැසියන් සිය අගනගරය බේරා ගැනීම සඳහා වීදි සටන්වලට පෙලඹී සිටින ආකාරය නිරීක්ෂණය කිරීමේ දී මේ තත්ත්වය පුරෝකතනය කළ හැකි බව යි ඔහු සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now