නව බන්ධනාගාර සංකිර්ණ භූමිය ජනපතිගේ නිරීක්ෂණයට(VIDEO)
බොරැල්ලේ පිහිටි බන්ධනාගාර සංකීර්ණය ප්‍රතිස්ථාපිත කිරීමට යෝජිත හොරණ, මිල්ලෑව වතු යායට අයත් භූමිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිරීක්ෂණය කර තිබේ.
අබලන්ව ඇති පැරණි ගොඩනැඟිලි, අධික තදබදය, භාහිරව බලපා ඇති වෙනත් සාධක හේතුවෙන් බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙන යාමේ අවශ්‍යතාව දීර්ඝ කාලයක සිට පැවතුන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
නව බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීමට, නාගරික සංවර්ධන අධිකාරිය සතු හොරණ, මිල්ලෑව වත්තෙන් අක්කර 200ක භූමි ප්‍රමාණයක් වෙන්කර තිබේ.
ඒ අනුව බන්ධනාගාර සංකීර්ණය සහ එහි වත්මන් තත්ත්වය වීඩියෝ දර්ශනයකින් ඉදිරිපත් කෙරුණු අතර බන්ධනාගාර කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
වැලිකඩ බන්ධනාගාරය, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය, බන්ධනාගාර රෝහල, පුහුණු පාසල, බන්ධනාගාර බුද්ධි අංශය සහ ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව එම යෝජිත පරිශ්‍රය තුළ ඉදිකිරීමට නියමිතය. “සිපිරි සුවසෙත් උදාන” මිල්ලෑව රැඳවුම් හා විශෝධන මධ්‍යස්ථානය ලෙසින් නම් කර ඇති එම ව්‍යාපෘතිය වෙනුවෙන් මහ භාණ්ඩාගාරයෙන් මුල්‍ය ප්‍රතිපාදන වෙන් නොකිරීම විශේෂත්වයක් වේ.
නිරීක්ෂණ කටයුතු අතරතුර වතු යායේ පදිංචිකරුවන් හමුවී තොරතුරු විමසා ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිකිරීම් හේතුවෙන් ඔවුන්ට අහිමි වන දේපළ වෙනුවෙන් වන්දි සහ නිවාස ලබා දීමට කඩිනම් පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
