සයිබර් අපරාධ වැළැක්වීමට නව පොලිස් කොට්ඨාසයක්
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, පරිගණක ආශ්‍රිත අපරාධ (Cyber Crime) වැළැක්වීම සඳහා නව පොලිස් කොට්ඨාසයක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බවය.
ඊයේ (06) පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, දිනකට පරිගණක ආශ්‍රිත අපරාධ 23ත් 25ත් අතර වාර්තා වන අතර එය සැලකිය යුතු ඉහළ සංඛ්‍යාවක් බවය.
මෙම අපරාධ කාර්යක්ෂමව විමර්ශනය කර විසඳාගැනීම සඳහා අවශ්‍ය නව තාක්ෂණය, විශේෂ දැනුම සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නවීකරණ ක්‍රියාවලිය ක්‍රමානුකූලව ක්‍රියාත්මක කරමින් සිටින බවද ඔහු පැහැදිලි කළේය.
අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා පොලීසිය ඉතා විශිෂ්ට, කාර්යක්ෂම සහ අදූෂිත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීම රජයේ ප්‍රධාන අරමුණ වන අතර, ඒ සඳහා නිරන්තරයෙන් කටයුතු කරන බවත්, දක්ෂ නිලධාරීන්ට ඉහළට යා හැකි සුදුසු වටපිටාවක් නිර්මාණය කිරීම සහ වැරදි කරන නිලධාරීන් පොලිස් සේවයෙන් ඉවත් කිරීම සඳහා ක්‍රමවේද සකස් කර ඇති බවත්ය.