තෙල්දෙණිය කළඹපු ව්‍යායාම විශේෂඥවරිය මැරූ ඝාතකයා සොයා මෙහෙයුමක් - මොහුව දැක්කොත් වහාම පොලීසියට කියන්න
නුවරඑළිය නගරයේ පෞද්ගලික සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි කාන්තාවක් (17) බදාදා සවස මහනුවර, තෙල්දෙනිය රෝහල අසල නවතා තිබූ මෝටර් රථයක් තුළ සිරුරක් ලෙස සොයාගෙන ඇත. මෙම තරුණිය මීට පෙර අවස්ථා දෙකකදී දින කිහිපයක් නුවරඑළියේ අදාළ හෝටලයේ නවාතැන් ගෙන සිට ඇති බව නුවරඑළිය පොලිස් අපරාධ විමර්ශන අංශය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
පොලිස් වාර්තාවලට අනුව, සැකකරු මෙම තරුණිය සමඟ (02 වැනිදා) හෝටලයට පැමිණ (10 වැනිදා) ඉන් පිටව ගොස් ඇත. පසුව (16 වැනිදා) එම තරුණිය පමණක් තනිවම නැවතත් හෝටලයට පැමිණ තිබේ. (17 වැනිදා) රාත්‍රී 9:00 ට පමණ සැකකරු කුලී මෝටර් රථයකින් (Rent a car) හෝටලයට පැමිණ, සිය බිරිඳට සනීප නොමැති බව හෝටල් ආරක්ෂක නිලධාරියාට පවසා ඇත. පසුව ඔහු සිය පෙම්වතියව රථයට නංවාගෙන, හෝටල් ගාස්තු ගෙවා එතැනින් පිටව ගොස් ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් හෝටල් ආරක්ෂක නිලධාරියා විසින් පොලිසියට තොරතුරු ලබා දී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන නුවරඑළිය පොලිසිය පවසන්නේ, මියගිය තරුණිය වැලිගම ප්‍රදේශයේ පදිංචි, අම්පාර රෝහලේ භෞතචිකිත්සකවරියක (Physiotherapist) ලෙස සේවය කළ 33 හැවිරිදි පී.ආර්. ශ්‍යාමා දර්ශනී නමැති අයෙක් බවයි. ඇය 2023 වසරේ සිට එම රෝහලේ සේවය කර ඇති අතර, විදේශගත වන බව පවසමින් රැකියාවෙන් ඉල්ලා අස්වීමේ ලේඛන ද ඉදිරිපත් කර තිබූ බව පොලිසිය පවසයි.
ඇයගේ පෙම්වතා වන ගන්නෝරුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ඩී.එම්.එස්. දිනෙත් දිසානායක නැමැත්තා, සිය පෙම්වතිය සමඟ ඇති කරගත් බහින්බස් වීමකින් පසුව ඇයව ඝාතනය කර ඇත.
අනතුරුව සිරුර හෝටලයෙන් පිටතට රැගෙන ගොස්, මෝටර් රථයක දමා තෙල්දෙනිය රෝහල අසල දමා ගොස් ඇති අතර පසුව මේ පිළිබඳව තෙල්දෙනිය පොලිසියට තොරතුරු ලබා දී ඇත.
සැකකරු විසින් අදාළ කාන්තාවගේ මුහුණ වසා ඇයව ඔසවාගෙන යන අයුරු හෝටලයේ සවිකර තිබූ සීසීටීවී (CCTV) කැමරාවල සටහන්ව තිබේ.
කෙසේ වෙතත්, නුවරඑළියේ පෞද්ගලික හෝටලයට පැමිණි මෙම පිරිමි සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව විමර්ශන සිදුකරන නුවරඑළිය පොලිසිය පවසයි.
මේ වනවිට සැකකරුගේ ඡායාරූප නුවරඑළිය පොලිසිය විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබේ. සැකකරු පිළිබඳව කිසියම් තොරතුරක් වෙතොත්, නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී චන්දන බස්නායක මහතා හෝ නුවරඑළිය පොලිස් ස්ථානයේ පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
071- 8591096 - සහකාර පොලිස් අධිකාරී,
නුවරඑළිය 071- 8591097 - මූලස්ථාන පොලිස් ප්‍රධාන පරීක්ෂක, නුවරඑළිය
