පොලිසිය කරන වැඩද මේවා - උසාවි එක්ක යන මුවාවෙන් සැකකරුව පන්නලා
අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යන බවට පවසමින් වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු පොලිසියෙන් පිටතට රැගෙන ගොස් මුදා හැරිමක් සිදුවී ඇති බවට පරීක්ෂණයකදී අනාවරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් පාදුක්ක පොලිසියේ සේවය කරන කොස්තාපල්වරයකුගේ රාජකාරි කටයුතු තාවකාලිකව නවතා දමා ඇති බව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
මෙම වරෙන්තු නිකුත් වූයේ අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 25056 යටතේ, හඳපාන්ගොඩ – අරත විල කොස්සේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සඳහාය. සැකකරු, පසුගිය 7 වැනිදා පාදුක්ක පොලිසියට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ගෙන එන ලදී.
පසුව, පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා විසින් “6” වාර්තාවක් මගින් සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ අතර, ඒ අනුව “ඒ” වාර්තාවක් සකසා අත්සන් කර ඇති බවද සඳහන්ය.
කෙසේවෙතත්, කොස්තාපල්වරයා 8 වැනිදා සැකකරු අධිකරණයට රැගෙන යන බව සටහන් තබා පිටව ගොස්, ආපසු පැමිණීමේ වාර්තාවේ රු. 100,000 ශරීර ඇපයක් මත මුදා හැරිය යැයිද, 12 වැනිදා අධිකරණයට පැමිණෙන ලෙස නියෝග කර ඇති බවද සටහන් කර තිබිණි.
නමුත් එම වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අනාවරණය වී ඇත. අවිස්සාවේල්ල අධිකරණ සංකීර්ණයේ උසස් පොලිස් නිලධාරියෙකුගෙන් මේ සම්බන්ධයෙන් විමසීමකදී එවැනි වරෙන්තුකරුවෙකු අධිකරණයට ඉදිරිපත් වී නොමැති බව තහවුරු විය.
එහිදී, කොස්තාපල්වරයා ඔහුගේ අභිමතය පරිදි සැකකරු අධිකරණයට නොරැගෙන ගොස්, ව්‍යාජ වාර්තා සැකසූ බවත්, එමඟින් උසස් නිලධාරීන් වංචාකරන ලද බවත් පොලිසිය පවසයි.
