රටේ ස්ථාන කිහිපයකම දරුණු අනතුරු වාර්තා වේ
වන්දනා බසයක් අනතුරට ,තිදෙනෙකු බරපතලව තුවාලයි ,
කතරගම සිට ආරයම්පති වෙත ගමන් කළ වන්දනාකරුවන් රැගත් බස් රථයක්, ආපසු එමින් සිටියදී මඩකලපුව කාත්තන්කුඩි පොලිස් වසමේ කරන්කුලම් ප්‍රදේශයේදී අනතුරකට ලක්වී ඇත. අද (30) උදෑසන මෙම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් රියදුරු හා සහායකයින් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
තුවාල ලැබූ පුද්ගලයන් පණ්ඩිරුප්පු, කළුතවල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. අනතුර සිදුවී ඇත්තේ මඩකලපුව–කල්මුනේ ප්‍රධාන මාර්ගය ඔස්සේ තට්ටතීව් වෙත ආපසු ගමන් කිරීමේ දී කරන්කුලම් සරස්වතී විද්‍යාලය අසලදීය. අනතුරෙන් බස් රථයට දැඩි හානි සිදුවී ඇති අතර ගසක්ද මාර්ගයට කඩා වැටී තිබේ. කාර්යභාරයේ නියුතු කාත්තන්කුඩි රථවාහන පොලීසිය පරීක්ෂණ සිදුකරයි.
කැබ් රථ දොර විවෘත කිරීමෙන් මාරක අනතුරක් , විශ්‍රාමික ගුරුවරියක් ජීවිතක්ෂයට,
බණ්ඩාරගම පොලිස් වසමේදී තවත් මාරක රිය අනතුරක් වාර්තා වෙයි. පසෙක නවතා තිබූ කැබ් රථයක දොර විවෘත කිරීමත් සමඟ, ධාවනය වෙමින් සිටි යතුරුපැදියක් එයට හැඩලයේ ගැටී මාර්ගය හරහා පෙරළී තිබේ.
මෙම අනතුරෙන් යතුරුපැදියේ ගමන් කළ විශ්‍රාමික ගුරුවරියක් ජීවිතක්ෂයට පත්වූ අතර, ඇගේ සැමියා තුවාල ලබා හොරණ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත. කැබ් රථය පදවාගෙන ආවේ විශ්‍රාමික යුද හමුදා සෙබළෙකු වන අතර, යතුරුපැදිය පොකුණුවිට සිට බණ්ඩාරගම දිශාවට ගමන් කර තිබිණි.
දකුණු පස දොර හදිසියේ විවෘත වීම නිසා පැදිකරු සහ පසුපැදිකාරිය මාර්ගයට වැටී ඇති අතර, පසුපසින් පැමිණි ත්‍රීරෝද රථයක් පසුපැදිකාරිය ගැටීමෙන් ඇය ජීවිතක්ෂයට පත් විය.
අනතුර සම්බන්ධයෙන් සැකකාර විශ්‍රාමික සෙබළා සහ ත්‍රීරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද (30) පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. පරීක්ෂණ වගකීම බණ්ඩාරගම පොලිසිය විසින් ඉටු කරයි.
