විරුද්ධ පක්ෂයේ දේශපාලඥයන් කළු කොඩි සමඟ කොළ කොඩිද පෙන්වමින් දේශපාලන වාසි ගන්න දගලයි.....
“කළු ඉරිදා” දිනයේදී විරුද්ධ පක්ෂයේ දේශපාලඥයන් කළු කොඩි සමඟ කොළ කොඩිද පෙන්වමින් කළු ඉරිදාව ආණ්ඩු විරෝධයක් ලෙස පෙන්වා දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරන බව ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා අවධාරණය කළේය. “කළු ඉරිදා” දිනය සංවිධානය කළේ පාස්කු ප්‍රහාරයෙන් හානියට පත් කතෝලික ජනතාවට නීතිය හා සාධාරණත්වය ඉටුකිරීම වෙනුවෙන් සටන් කරන බව පෙන්වීමට බවද අමාත්‍යවරයා පැවසීය.
පාස්කු ප්‍රහාරයට කිට්ටු සම්බන්ධතා පැවැත්වූ විපක්ෂයේ ඇතැම් දේශපාලඥයන් වර්තමානයේදී මැරිලා ඉපදුනා සේ කථා කරන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පාස්කු ප්‍රහාරය සිදුවන විට ඇස් කන් පියාගෙන සිටි අය අද පාස්කු කොමිසමට මොකද වෙන්නේ කියා අපෙන් ප්‍රශ්න කිරීම විහිළුවක් බවත් පැවසීය. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ “ඔබට ගෙයක් - රටට හෙටක්” ජාතික නිවාස වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ, දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නව නිවාස 10 ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද (08) දින සහභාගී වෙමිනි. දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දාගොන්න නැගෙනහිර, හමුවලාන උතුර, කෙහෙල්ඇල්ල, පොල්හේන, දියගම්පල, පරගොඩ උතුර සහ දකුණ, කුලීගෙදර, අස්සැන්නවත්ත නැගෙනහිර සහ පින්නලන්ද යන ප්‍රදේශවලදී මෙම නිවාස විවෘත කිරීම් සිදුකරන ලදි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා “එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කළ අය මැරිලා ඉපදුනා වගේ අද කථා කරලා කියනවා පාස්කු කොමිසමට මොකද වෙන්නේ කියා. පාස්කු කොමිසමට මොකද වෙන්නේ කියලා අපෙන් අහන්නේ ප්‍රහාරය සිදු වෙද්දී ඇස් කන් පියාගෙන සිටි අය. තාත්තා කථා කරලා කිව්වම පුතාට අද පල්ලියට යන්න එපා බෝම්බ ගහනවා කියලා ඒ තොරතුරු දැනගෙන රෙදි පොරවගෙන නිදාගත්තු අය අද හිතනවා කළු ඉරිදාව කතෝලික ජනතාව ආණ්ඩුවට විරෝධයක් දක්වනවා කියලා. කතෝලික ජනතාව ප්‍රකාශ කරන්නේ තමන්ගේ වේදනාව. කාදිනල්තුමන් රටට ලෝකයට කියන්නේ මේ ව්‍යසනයට පත්වුන ජනතාව වෙනුවෙන් අපි වගකියනවා කියලා. ඒ පුද්ගලයන්ට නීතිය සාධාරණත්වය වෙනුවෙන් සටන් කරනවා කියා දැනගන්න කතෝලික ජනතාව කළු ඇන්දේ.
එම දිනයේදී සමහරුන් කළු ඇදගෙන කොළ කොඩිත් දාගෙන සිටියා. මේ දෙක වෙනස්. හරීන්ලට ඕනේ නෑ කළු අදින්න. හරීන්ට පුළුවන් අනුර කුමාරගෙන් අහන්න ඊබ්‍රහීම් සමඟ කළ ගණුදෙනු මොනවද ? පක්ෂයට කොපමණ උදව් කළාද ? ඊබ්‍රහීම්ගේ පුතා මරාගෙන මැරෙන බෝම්බයක් බැදගෙන ගොස් මැරෙනකම් තොරතුරු මොනවාද කියා. එයට කමිටු වාර්තා ඕනේ නෑ.