තෙල් මිල අද කැබිනට් මණ්ඩලයට
වැඩි වූ ඉන්ධන මිල යළි සංශෝධනය කිරීමේ හැකියාව පිළිබඳව අද (14) රැස්වන අමාත්‍ය මණ්ඩලයේදී සලකා බැලීමට නියමිත බවට රජයේ ආරංචි මාර්ග අනාවරණ කළා. අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (14) පස්වරු 05 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවත්වීමට නියමිතයි.
ඉන්ධන මිල සංශෝධනය කිරීමට පසුගියදා රජය තීරණය කළ අතර ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 07 කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 07 කින් ඉහළ ගියා.
පසුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නිතිඥ සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබුණේ ජනතාව අසීරුතාවට පත්වූ මොහොතක ඉන්ධන මිල වැඩි කිරීමට විෂය භාර අමාත්‍යවරයා ගත් තීරණයට ඔහු ඍජුව වගකිව යුතු බවයි. එවැනි තත්ත්වයක් උද්ගත කිරීම පිළිබඳව වගකීම භාරගෙන ඔහු සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවද අදාළ නිවේදනයේ සඳහන් වුණා.
මේ අතර, පොදුජන පෙරමුණේ මෙම චෝදනාවලට පිළිතුරු දීම සඳහා ඛනිජ තෙල් විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ (13) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඔහු ප්‍රකාශ කළේ ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය ගනු ලැබුවේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුවේදී බවයි.
මේ අතර, ඉන්ධන මිල ඉහල දැමීම දේශීය ආර්ථිකය ශක්තිමත් කරන පොදු වැඩපිලිවෙලක එක් ප්‍රධාන සාධකයක් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. එය රටේ බැංකු පද්ධතිය ශක්තිමත් කර අඩු පොලී අනුපාත පවත්වා ගැනීමටත්, විදේශ විනිමය වියදම් අඩුකර විනිමය අනුපාත ශක්තිමත් කර ගැනීමටත් අවධානය යොමු කරමින් ගනු ලැබූ පියවරක්.
එමෙන්ම, සෞඛ්‍ය හා සුබසාධනය සුරක්ෂිත කර ගැනීමටත්, ආනයන මත රඳා පවතින පාරිභෝජන ආර්ථිකය, දේශීය නිෂ්පාදන මත රඳා පවතින ආයෝජන සහ පරිභෝජන ආර්ථිකයක් බවට පරිවර්තනය කර ගැනීමටත් එමඟින් අපේක්ෂා කරන බව එහි දැක්වුණා.
මේ අතර, වෙළඳපොළට නව ගෑස් සිලින්ඩර් හඳුන්වාදීමෙන් පාරිභෝගිකයා නොමඟ යැවීම සම්බන්ධයෙන් ගෑස් සමාගම්වලට එරෙහිව ඉදිරියේ නිතීය ක්‍රියාත්මක කරන බවද රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඊයේ (13) සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |