අස්වැසුමට අයදුම්කරුවන් තෝරගන්න විදිහ ගැන දැනුම්දීමක්
"අස්වැසුම" සමාජ ආරක්ෂණ වැඩසටහනේදී, සුදුසුකම් ලත් පිරිස නිවැරදිව තෝරා ගැනීම සඳහා යාවත්කාලීන, නිවැරදි දත්ත පද්ධතියක් තිබීමේ වැදගත්කම ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කර තිබේ.
ඔවුන් පවසන්නේ, එම දත්ත පද්ධතිය සකස් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබා දීමට ඔවුන් සූදානම් බවය.
මේ සම්බන්ධ අදහස්, "අස්වැසුම" වැඩසටහන පිළිබඳ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ සාමාජිකයින්, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකයින්, ලෝක බැංකු නියෝජිතයින් සහ අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැත්වූ රැස්වීමේදී දක්වා ඇත.
රැස්වීමේදී, ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ෆ්‍රැන්සෙස්කා ලමන්නා (Francesca Lamanna) සහ ජ්‍යෙෂ්ඨ සමාජ ආරක්ෂණ විශේෂඥ ශ්‍රීනිවාස් වරදන් (Srinivas Varadan) යන මහත්මීහුද සහභාගී වූහ.
රැස්වීමේ සභාපතිභාවය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය (ආචාර්ය) උපාලි පන්නිල සහ ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය විසින් පවත්වා ගෙන ගිය අතර, අනෙකුත් මන්ත්‍රීවරුන්ද සහභාගී වූහ.
රැස්වීමේදී, ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කළේ, සමාජ ආරක්ෂණ දත්ත පද්ධතියක් මඟින් දිළිඳු සහ අවදානම් මට්ටමේ පිරිස් හඳුනාගත හැකි බවය.
පුරවැසියන්ගේ තොරතුරු පද්ධතියට ඇතුළත් කිරීම පමණක් ඔවුන්ට අදාළ ප්‍රතිලාභ ලබාදීම සඳහා හෝ සුදුසුකම් ලත් පිරිසක් බව සනාථ නොවන බවත්, ඇතුළත් දත්ත පරික්ෂා කිරීමෙන් මගින් ඇත්තටම අවශ්‍ය පිරිස නිවැරදිව හඳුනා ගැනීමේ හැකියාව ඇති බවත් ඔවුන් අවධාරණය කළහ.