පක්ෂේ කෙනෙක් වැරදි කරාට නායකයා වගකියන්න ඕනේ නෑ, මොනවා කළත් අපේ නාමල්ගේ ප්‍රතිරූපයට හානි කරන්න බෑ - ලක්ෂ්මන්
හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් නාමල් රාජපක්ෂ මහතා වටා ජනතාව ඒකරාශී වන විට එය දරා ගත නොහැකි පිරිස් ඔහු ගැන වැරැදි චිත්‍ර මැවීමට උත්සාහ ගනිමින් සිටින බව ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි. එම හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ,
“කවුරුන් කුමන චිත්‍රයක් මැවීමට උත්සාහ කළත් නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රතිරූපයට හානි කළ නොහැකියි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට විරුද්ධව විවිධ දේ කියමින් යනවා. ජනතාව දේශපාලනඥයන් සමඟ පින්තූර ගන්නවා. සෑම නායකයෙක්ම විවිධ අය සමඟ ඡායාරූපවලට පෙනී සිටිනවා. එලෙස ඡායාරූපවලට පෙනී සිටින අයගේ සුලමුල දන්නේ නෑ. යම් පුද්ගලයකුට චෝදනාවක් නැඟුණාම ඔහු නියෝජනය කරන පක්ෂය වගකියන්න ඕනෙ නෑ. දේශපාලන වශයෙන් ප්‍රාදේශීය සභාවකට හෝ වෙනත් මැතිවරණයකට තරග කළ අයෙක් අත්අඩංගුවට ගත් විට එයට ඔහු නියෝජනය කරන පක්ෂයේ නායකයා වගකියන්න අවශ්‍ය නෑ.
එම පුද්ගලයා වැරදිකරු නම් පසුව පක්ෂයෙන් නෙරපා හරින්න පුළුවන්. නමුත් එහෙම සිදුවීමක් මෙහි නෑ. මේ ආණ්ඩුවේ පිරිස් එක මාසයකට කුමක් හෝ සිදුවීමක් ගන්නවා. පසුව ඒ සිද්ධියත් එක්ක ක්‍රියා කරනවා. තමන්ගේ ක්‍රියාදාමයන් රටේ හරියාකාරව ක්‍රියාත්මක නොවෙනකොට ඒ පිළිබඳව මිනිසුන්ගේ මතය වෙන පැත්තකට යොමු කිරීමට මේ වගේ වැඩ කරනවා. මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් විය යුතුයි. පහුගිය මාස දෙක තුන ඇතුළත නාමල් රාජපක්ෂ මහතා ගමින් ගමට යනකොට ජනතාව ඔහු වටා ඒකරාශී වුණා. ඒ නිසා තමයි ඔහුගේ නමට කැළැලක් වන ආකාරයට මේ ප්‍රකාශය කරන්නේ. එහෙම කළා කියලා ඔහුට තිබෙන පිළිගැනීම නැති කරන්න බෑ.”