පළාත් පාලන ඡන්දයට විදෙස් නිරීක්ෂකයින් නෑ - ට්‍රම්ප් නිසා මුදල් ප්‍රශ්නලු
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන පරිදි, මෙවර පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයන් සහභාගි නොවනු ඇත. ජාත්‍යන්තර වශයෙන් මෙම මැතිවරණය වැදගත් ලෙස නොසැලකීම හේතුවෙන් විදෙස් නිරීක්ෂකයන්ගේ සහභාගිත්වයක් නොමැති බව ඔහු සඳහන් කරයි.
එසේම, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් USAID ආයතනයේ කටයුතු අත්හිටුවීමට ගත් පියවර හේතුවෙන්, මෙවර පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දේශීය මැතිවරණ නිරීක්ෂණ ආයතන රැසක් මූල්‍යමය අර්බුදවලට මුහුණ දී ඇත. USAID මගින් මෙරට රාජ්‍ය නොවන සංවිධාන සහ මැතිවරණ නිරීක්ෂණ ආයතනවල විවිධ ව්‍යාපෘති සඳහා අරමුදල් සපයනු ලැබීය. මෙම අරමුදල් යටතේ ආයතන 23ක් පමණ ක්‍රියාත්මක වූ අතර, ඉන් 10ක් මැතිවරණ කටයුතු සඳහා ආධාර ලබා දුන්නේ ය.
මෙම ආධාර ආබාධිත ජනතාවගේ මැතිවරණ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, කාන්තා දේශපාලනය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මැතිවරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදවනු ලැබීය. එහෙත්, ට්‍රම්ප්ගේ දෙවන ජනාධිපති ධුර කාලය තුළ USAID හි මූල්‍ය විනිවිදභාවය සම්බන්ධ ගැටලු හේතුවෙන් එහි අරමුදල් සැපයීම අත්හිටුවීම මෙම තත්ත්වයට හේතු වී ඇත.
මෙම මූල්‍ය අර්බුදය හේතුවෙන් ඇතැම් නිරීක්ෂණ සංවිධානවල කටයුතු මන්දගාමී වී ඇති අතර, මැතිවරණ නිරීක්ෂකයන් යෙදවීම සීමා කිරීමට සිදුව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ සංවිධාන ස්වෙච්ඡා නිරීක්ෂකයන්ගේ සහය ඇතිව කටයුතු කිරීමට පියවර ගනිමින් සිටී. මැතිවරණ වාර්තා සැකසීම පවා මෙම අර්බුදය හේතුවෙන් බොහෝ සංවිධානවලට අභියෝගයක් වී ඇත.
PAFFREL (පැෆරල්) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසන්නේ, USAID හි කටයුතු අඩාල වීමෙන් NDI, IRI වැනි ආයතන රැසක් වසා දැමුණු බවයි. එහෙත්, පැෆරල් සංවිධානය මුදල් කළමනාකරණය කරමින් මැතිවරණ නිරීක්ෂකයන් 3,000ක් සහ ජංගම නිරීක්ෂණ සඳහා වාහන 200ක් යොදවා මෙවර මැතිවරණයට සහභාගි වන බව ඔහු සඳහන් කරයි. පැෆරල් ආරම්භ වූයේ ආධාර මත නොව, 1980 දශකයේ ස්වේච්ඡා පදනමින් බවත්, වර්තමානයේ මැතිවරණ ප්‍රචණ්ඩත්වය අඩුවෙමින් පවතින බවත් ඔහු පවසයි.
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසන්නේ, මැතිවරණ නිරීක්ෂණ සඳහා ලැබෙන අරමුදල්වල සැලකිය යුතු අඩුවීමක් ඇති බවයි. මෙය මැතිවරණ වාර්තා සැකසීමේ ගුණාත්මකභාවයට බලපා ඇති අතර, ස්වෙච්ඡා නිරීක්ෂකයන් යෙදවීමට සිදුව ඇත. එහෙත්, USAID ආධාර නොලැබීම “වෙස්වලාගත් ආශිර්වාදයක්” ලෙස ඔහු හඳුන්වන අතර, මැතිවරණ නිරීක්ෂණය යළි ස්වෙච්ඡා පදනමකට ගෙන ඒමට බොහෝ සංවිධාන උත්සාහ කරන බව පවසයි.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසන පරිදි, මෙවර පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා දේශීය සංවිධාන 7ක් ඉල්ලුම් කළ බවත්, ඉන් 2කට ඡන්ද මධ්‍යස්ථාන තුළ නිරීක්ෂණයට අවසර ලබාදුන් බවත්, අනෙකුත් සංවිධානවලට ඡන්ද මධ්‍යස්ථානවලින් පිටත සහ ජංගම නිරීක්ෂණ සඳහා අවසර ලබාදී ඇති බවත් ය.
මීට පෙර ජනාධිපතිවරණ ඇතුළු මැතිවරණවලදී යුරෝපා සංගමය ඇතුළු විදෙස් නිරීක්ෂණ කණ්ඩායම් මෙරට මැතිවරණ නිරීක්ෂණයට සහභාගි වූ අතර, ඇතැම් විට ඒවා මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනයෙන් සිදු විය.
