පාරිසරික පුවත්කරණයෙන් ඔබ්බට යන නව වැඩසටහනක් - ශ්‍රී ලංකා මාධ්‍යවේදින්ට අවස්ථාවක්
ශ්‍රී ලංකාවේ පාරිසරික, දේශගුණික සහ ආර්ථික කරුණු පිළිබඳ වාර්තාකරණය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යුරෝපා සංගමය (EU) සහ ප්‍රංශ මාධ්‍ය සංවර්ධන ආයතනයක් වන Canal France International (CFI) ශ්‍රී ලංකාව සමඟ හවුල්කාරීත්වයකට එළඹ තිබේ.
යුරෝපා සංගමය මූල්‍ය පහසුකම් සපයන Green Recovery Facility වැඩසටහන යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අදාළ ගිවිසුම් පසුගියදා පැරීසියේදී අත්සන් කර ඇත.
ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සාම්ප්‍රදායික පාරිසරික කරුණු ඉක්මවා, දේශගුණික මූල්‍යකරණය, හරිත ආයෝජන, තිරසර සංවර්ධනය, ජෛව විවිධත්වය මෙන්ම හරිත ආර්ථික පරිවර්තනයට අදාළ ප්‍රතිපත්ති හා ආර්ථික කරුණු පිළිබඳව පුළුල් ලෙස වාර්තා කිරීමට අවශ්‍ය දැනුම හා කුසලතා ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණකි.
වැඩසටහන හරහා මාධ්‍යවේදීන්ගේ තාක්ෂණික හා විමර්ශනාත්මක වාර්තාකරණ හැකියාවන් වැඩිදියුණු කිරීමටද අවධානය යොමු කෙරේ. සංකීර්ණ දේශගුණික මූල්‍ය කරුණු විශ්ලේෂණය කිරීම, රාජ්‍ය ප්‍රතිපත්ති පරීක්ෂා කිරීම සහ හරිත ආයෝජනවල ගලායාම හා එහි බලපෑම පිළිබඳව සොයා බැලීමට අවශ්‍ය මෙවලම්ද ඔවුන්ට ලබාදීමට නියමිතය.
තාක්ෂණික මූල්‍ය හා පාලන කරුණු සාමාන්‍ය ජනතාවට පහසුවෙන් අවබෝධ කරගත හැකි මහජන හිතකාමී ප්රවෘත්ති බවට පත් කිරීමට මාධ්‍යවේදීන් සවිබල ගැන්වීමද මෙම වැඩසටහනේ අරමුණකි.
හරිත ප්‍රතිපත්ති ජනතාවගේ ජීවනෝපාය, බලශක්ති මිල සහ ප්‍රජාවන් කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව ජනතාවට පැහැදිලි අවබෝධයක් ලබාදීම එහිදී වැදගත් වේ.
එමෙන්ම ‘සාධාරණ පරිවර්තනය’ (Just Transition) සහ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව පිළිබඳ දෘෂ්ටිකෝණය මාධ්‍ය වාර්තාකරණයට එක් කිරීම කෙරෙහිද අවධානය යොමු කෙරේ.
විශේෂයෙන් කාන්තාවන් සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වල අදහස් හා අත්දැකීම් ජාතික පාරිසරික සංවාදයට ඇතුළත් කිරීමද මෙහි අරමුණකි.
Expertise France (EF) ආයතනය විසින් Canal France International (CFI), ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.
මෙය සාම්ප්‍රදායික පන්තිකාමර පුහුණුවකට සීමා නොවී, ප්‍රායෝගික අත්දැකීම් සහ මාර්ගෝපදේශනය මත පදනම්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. වැඩසටහනේ ප්‍රධාන අංග කිහිපයක් මෙසේය:
ත්‍රෛභාෂික මූලික පුහුණුව - සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන් 60 දෙනෙකු සඳහා පුළුල් පුහුණුවක් ලබාදීම.
Story Labs වැඩසටහන් -මාධ්‍යවේදීන්ට සෘජු කතුවැකි මාර්ගෝපදේශනය ලබාදෙමින් දත්ත මත පදනම් වූ හරිත පරිවර්තනය පිළිබඳ ගුණාත්මක පුවත් නිෂ්පාදනය හා ප්රකාශනය සඳහා Story Labs හයක් පැවැත්වීම.
තරුණ මාධ්‍යවේදීන් සම්බන්ධ කරගැනීම - විශ්වවිද්‍යාල සහ තරුණ වැඩසටහන් හරහා ජනමාධ්‍ය සිසුන් හා තරුණ මාධ්‍ය වෘත්තිකයන් සම්බන්ධ කර ගනිමින් හරිත පරිවර්තනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ පුවත් නිර්මාණයට අවස්ථාව ලබාදීම.
දැනුම හා අත්දැකීම් හුවමාරු ජාලකරණ වැඩසටහන - මාධ්‍යවේදීන්, විශේෂඥයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් එක්කර, වැඩසටහන හරහා ලැබූ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගැනීම සහ ඉදිරි වාර්තාකරණ සඳහා නව අදහස් සංවර්ධනය කිරීම.
මෙම වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ තිරසර ආර්ථික ප්‍රකෘති ක්‍රියාවලිය ඉදිරියට යන අවස්ථාවේදී, ජනතාව දැනුවත් කිරීම සහ සමාජ සංවාදය ශක්තිමත් කිරීම සඳහා මෙරට මාධ්‍යයේ භූමිකාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවේ පාරිසරික පුවත්කරණය මෙතෙක් බොහෝ දුරට ස්වාභාවික ආපදා සහ ඒවායේ බලපෑම් පිළිබඳ වාර්තාකරණයට වැඩි අවධානයක් යොමු කර තිබුණද, මෙම වැඩසටහන හරහා දේශගුණික මූල්‍යකරණය, හරිත ආයෝජන සහ තිරසර ආර්ථික පරිවර්තනය වැනි පුළුල් කරුණු පිළිබඳ වාර්තාකරණයද පුළුල් කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.