කිලෝමීටර් 120ක් පළල දැවැන්ත සුනාමියක් නාසාවට හසු වෙයි [PHOTOS]
ඉතිහාසයේ පළමු වරට සුනාමි රළක් උපත ලැබූ අවස්ථාවේ සිට එය සාගරය පුරා ව්‍යාප්ත වන ආකාරය සම්පූර්ණයෙන්ම නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයින්ට හැකි වී ඇති බව වාර්තා වේ.
ඒ රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුවූ රික්ටර් පරිමාණ 8.8 ක දැවැන්ත භූමිකම්පාවකින් පසු හටගත් සුනාමි රළක් අභ්‍යවකාශයේ සිට සජීවීව නිරීක්ෂණය කිරීමට නාසා ආයතනය සමත් වීමත් සමඟින්.
ඒ අනුව විදෙස් වාර්තාවල දැක්වෙන්නේ නාසා ආයතනයේ SWOT (Surface Water and Ocean Topography) චන්ද්‍රිකාව මඟින් කිලෝමීටර් 120ක් පළල මෙම සුනාමි රළ සජීවීව පටිගත කර තිබෙන බවයි.
2025 වසරේ ජූලි 29 වන දින රුසියාවේ පැසිෆික් වෙරළ තීරයට ඔබ්බෙන් වූ කුරිල්-කම්චැට්කා කලාපයේ සිදු වූ රික්ටර් පරිමාණ 8.8 ක ප්‍රබල භූමිකම්පාවකින් අනතුරුව හටගත් සුනාමි රළ මෙලෙස සජීවීව නිරීක්ෂණය කිරීමට විද්‍යාඥයින් සමත්ව ඇත.
භූමිකම්පාවෙන් විනාඩි 70 කට පමණ පසුව එදින සුනාමි රළ මතුව තිබුණා.
එසේම භූමිකම්පාවේ දැඩි බව නිසා මුහුදු පතුලේ ඇතැම් කොටස් අඩි 13කින් ඉහළට එසවී ඇති බව ද සොයාගෙන තිබූ බව වාර්තා වුණා. එම භූමිකම්පාවෙන් ඇතිවූ පිපිරුම් කලාපය කිලෝමීටර් 402ක් දක්වා විහිදී ගොස් ඇත.
එම දත්ත ලබා ගැනීමට 2022 වසරේදී උඩුගුවනට යැවූ SWOT චන්ද්‍රිකාව සහ සාගර පතුලේ ඇති NOAA ආයතනයේ DART සංවේදක පද්ධතිය ඒකාබද්ධව භාවිතා කර ඇත.
පර්යේෂකයෝ ප්‍රකාශ කළේ වෙරළ තීරයට විශාල හානියක් වාර්තා නොවුණද, සාගරය තුළ මෙම රළ ඉතා ප්‍රබලව පැවති බවයි.
එසේම මින් පෙර විද්‍යාඥයින් විශ්වාස කළේ සුනාමියක් යනු තනි රළක් ලෙස ගමන් කරන බවයි.
එහෙත් මෙම නිරීක්ෂණයේදී රළ කිහිපයකට බෙදී යන බවත්, එහි පළල කිලෝමීටර් 120ක් පමණ වන බවත් සොයාගෙන ඇත. එමෙන්ම නව දත්ත මඟින් 1952 වසරේ සිදුවූ භූමිකම්පාවක් පිළිබඳවද අලුත් තොරතුරු අනාවරණය කර ගැනීමට විද්‍යාඥයින්ට හැකි විය.
අඳාළ සොයාගැනීම් 2025 නොවැම්බර් මාසයේදී Seismic Record සඟරාවේ ප්‍රකාශයට පත් කරමින් සඳහන් වූයේ,
"2025 වසරේ රුසියාවේ කම්චැට්කා වෙරළට ඔබ්බෙන් සිදු වූ රික්ටර් පරිමාණ 8.8 ක දැවැන්ත භූමිකම්පාව නිසා ඇති වූ දැවැන්ත සුනාමි රළ අභ්‍යවකාශයේ සිට ග්‍රහණය කර ගැනීමට හැකි විය.වෙරළ තීරයන්හි විශාල රළ වාර්තා නොවූවත්, පැසිෆික් සාගරය සුනාමි රළ පහරට ගොදුරු වී තිබුණි." යනුවෙන්.
එසේම මෙම සොයාගැනීමේ වැදගත්කම පිළිබඳව අයිස්ලන්ත විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යාඥ ඒන්ජල් රූයිස්-ඇන්ගුලෝ කියා සිටියේ,
"මම SWOT දත්ත දකින්නේ අලුත් කණ්ණාඩි යුගලක් වගෙයි. DART පද්ධති මගින් ලබා දුන්නේ තනි තනි ස්ථානවල දත්ත පමණයි. කළින් තිබූ චන්ද්‍රිකාවලට රළෙහි ඉතා පටු කොටසක් පමණයි නිරීක්ෂණය කළ හැකි වුණේ. මෙම නව තාක්ෂණය මඟින් අනාගතයේදී සුනාමි රළක් හටගත් වහාම එය හඳුනාගෙන වෙරළබඩ ජනතාවට කළින් අනතුරු ඇඟවීමට හැකි වෙනවා.”
කෙසේ වෙතත් මෙය ජීවිත දහස් ගණනක් බේරා ගැනීමට උපකාරී වන වටිනා මිනිත්තු කිහිපයක් බවට පර්යේෂකයෝ පෙන්වා දෙයි.
