රාජපක්ෂලා හොරකම් කළා කිව්ව බිලියන 18 ඔප්පු කරන්න..මේ ආත්මයේදී තියා ලබන ආත්මයේදීවත් බෑ - උණුසුම මැදම අමතපු නාමල්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ආණ්ඩුව සිය නොහැකියාව වසා ගැනීමට බංකොලොත් දේශපාලනයක නිරත වෙමින් පවතින බව සඳහන් කළා.
එසේම රාජපක්ෂලා ඩොලර් බිලියන 18ක් හොරකම් කළ බවට කළ ප්‍රකාශ ඔප්පු කිරීමට රුපියල් මිලියන විස්ස විස්ස එකතු කරමින් යන ගමනින් එම ඉලක්කය මේ ආත්මයේදී තබා ලබන ආත්මයේදීවත් සපුරාගත නොහැකි බවත් ඔහු අවධාරණය කළා.
තවද මිත්‍රශීලී රටවල් සමඟ සාකච්ඡා කර අඩුවට තෙල් ගන්නා බව කීවද, අද ආණ්ඩුව ලෝක වෙළඳපොළ මිලටත් වඩා ඩොලර් 45ක් වැඩියෙන් ගෙවා ඩීසල් මිලදී ගන්නා බව ඔහු පෙන්වා දෙමින් කියා සිටියේ බාල ගල් අඟුරු ගෙන ඒමෙන් සිදු වූ පාඩුව විදුලි බිල වැඩි කර ජනතාව පිට පටවා ඇති බවයි.
එසේම මීට පෙර යෝජනා වූ මෙගාවොට් 500ක සුළං විදුලි ව්‍යාපෘතිය සහ එල්.එන්.ජී (LNG) බලාගාර වැනි ආයෝජනවලට එදා විරුද්ධ නොවී ඒවා ක්‍රියාත්මක කළේ නම් අද මෙසේ විදුලි බිල වැඩි කිරීමට සිදු නොවන බව ද නාමල් රාජපක්ෂ මහතා කියා සිටියා.
මේ අතර ආණ්ඩුව තමන්ට හිතවත් නිලධාරීන් ලවා පරණ බොරු ඔප්පු කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළ රාජපක්ෂ, පොලිස්පතිවරයා ‘පැලවත්තේ මාලිමාවේ’ පොලිස්පතිවරයා ලෙස නොව ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා ලෙස ස්වාධීනව කටයුතු කළ යුතු බවද එහිදී අවධාරණය කර සිටියා.
එසේම ඔහු කියා සිටියේ රජයේ නිලධාරීන්ට පීඩනය එල්ල කර, මරණ තර්ජනය කර කටඋත්තර ලියා ගන්නා තත්ත්වයක් තුළ එක් පුද්ගලයෙකු එල්ලිලා මැරෙන තැනට පත් වූ බවත්, ස්වාධීන ආයතන කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටී ඇති බවත් ය.
තවද ආණ්ඩුව ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටුකරමින් සිටින බවත්, සුරේෂ් සලේ සම්බන්ධ කාරණා එහි ප්‍රතිඵලයක් බවත් සඳහන් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙරටට යුදමය ගුවන් යානා සඳහා තෙල් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රකාශයන්හි වලංගුභාවය පිළිබඳව තව දින කිහිපයකින් සැබෑ තත්ත්වය අනාවරණය වනු ඇති බවද සඳහන් කළා.
ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්
එමෙන්ම කොළඹ වරාය නගරය (Port City) බැංකුකරණ කේන්ද්‍රස්ථානයක් වශයෙන් ප්‍රයෝජනයට ගනිමින් මැදපෙරදිග ආයෝජන ආකර්ෂණය කර ගැනීමට බදු සහන ලබාදිය යුතු බවත්, මත්තල ගුවන්තොටුපළ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ වහාම සාකච්ඡා කළ යුතු බවත් ඔහු එහිදී යෝජනා කර සිටියා.
මේ අතර පොහොර අර්බුදය සහ වී සඳහා සාධාරණ මිලක් ලබාදීමේ වැඩපිළිවෙළක් නොමැතිවීම නිසා ගොවීන් දැඩි පීඩනයකට පත්ව ඇති බව පෙන්වා දුන් ඔහු පාර්ලිමේන්තුව ගිනි තැබිය යුතු බව කී පිරිස් අද එහි වාඩි වී සිටින බැවින් සභාවේ ගරුත්වය ආරක්ෂා නොවන බව ප්‍රකාශ කළා.
එසේම යුද්ධය ඉවර කර රට ගොඩනැගූ මහින්ද රාජපක්ෂට එල්ල වන මෙවැනි නීතිමය අභියෝග හමුවේ තමන් පසුබට නොවන බවත් ඕනෑම දෙයකට සූදානම් බවත් පැවසුවා.
එහිදී නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ,
"ආණ්ඩුව පැහැදිලිවම තමන්ගේ නොහැකියාව වහගන්න තමන් ගල් අඟුරුවලින් කරපුු වංචාවල් කැබ් ගනුදෙනුවලින් සීනි ගනුදෙනුවලින් අද ආණ්ඩුව කරපු වංචාව අද ලුණු ඇටේ ඉඳලා පිටරටින් ගෙන්වන තැනට මේ රටේ ජාතික ආර්ථිකය ඇතුළේ තියෙන ව්‍යාපාර වට්ටපු ආණ්ඩුව ,තවමත් උත්සහ කරනවා පරණ තමන් කියපු බොරු ටිකක් අධිකරණය ලව්වා නැත්නම් මේ රටේ තියෙන ස්වාධීනයි කියන ආයතන ලවා ඔප්පු කරවන්න. ඉතින් ඒ හන්දා බය කරලා කට උත්තර ලියාගන්නවා ඉතින් මේක තමයි මේ ආණ්ඩුව පහුගිය ආණ්ඩු යහපාලන කාලය ආණ්ඩුවෙන් ගත්ත අත්දැකීම්. මොකද යහපාලන ආණ්ඩුවේත් දූෂණ මර්දන කමිටුවල හිටපු අයනේ මේ ආණ්ඩුවේ ඉන්නේ. ඉතින් මට තියෙන කණගාටුව මේ රටේ ස්වාධීන ආයතන නීතිය ආරක්ෂා කරන්න තියෙන ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න තියෙන ආයතනවලට තියෙන ගෞරවය සහ විශ්වාසය කඩන් වැටෙනවා. පොලිස්පතිවරයා තීන්දු කරන්න ඕන තවත් දුරටත් පැලවත්තේ මාලිමාවේ පොලිස්පතිවරයා විදියට වැඩ කරනවද නැත්තං අවංකවම ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා විදියට වැඩ කරනවද සාධාරණයක් කරනවද කියන එක ගැන. ඉතින් ඔහොම මිලියන විස්ස විස්ස හදාගෙන යන්න ගියොතින් ඩොලර් බිලියන 18 හදාගන්න වෙන්නේ නෑ. මේ අවුරුදු පහට නෙවෙයි ඊළඟ ආත්මෙටවත්. ඒකෙන්ම පැහැදිලියිනේ ඉතින් දැන් කලින් කිව්වේ ඩොලර් බිලියන 18 ගැනනේ. දැම්මේ ඩොලර් බිලියන 18 ට හදන්න යන ගමන යන්නේ මිලියන විස්ස විස්ස එකතුකරන්. අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේත් කරුණාකරල මේ බංකළොත් දේශපාලනය නවත්වන්න. ඔබට පොරොන්දු වෙච්ච දේවල් කරගන්න බැරි වෙනකොට මේ තියෙන අභියෝගවලට මුහුණ දෙන්න බැරිවෙනකොට තමන්ගෙ ගල් අඟුරු වංචාවෙන් දැන් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ කතා කෙරුවා. හැබැයි ගල්අඟුරු ගැන එක වචනයක්වත් කතා කරේ නෑනේ ඉතිං පැහැදිලිවම බාල ගල් අඟුරු ගෙනාව බවට අද මුළු රටම ලෝකයම දන්නවා . අවසානයේ ඒකෙන් වෙච්ච පාඩුව වහගන්න තෙල්වල මිල වැඩි කරලා ඒක ජනතාවගේ පිටට දානවා. විදුලි බිල වැඩි කරලා ඒකත් ජනතාව ට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් කලින් කිව්වේ කොහොමද තමන්ට හිතවත්තු ඉන්නවයි කිව්වා. ඒ අය එක්ක සාකච්ඡා කරනවා කිව්වා තෙල් මිලදී ගන්න. හැබැයි අද මිලදී ගන්නේ කොහොමද අද ලෝක වෙළඳපොලේ මිලටත් වඩා ඩොලර් 45ක් වැඩියෙන් තමයි ඩීසල් මිලදී ගන්නේ ලෝක වෙළඳපොලේ මිලටත් වඩා වැඩියෙන් 45ක් ගෙවලා මිලදී ගන්නේ"