බෞද්ධ හෙදියන්ට ළමා සාරිය අඳින්න ඉඩ දෙන්න - බෙංගමුවේ නාලක
මුස්ලිම් හෙදියන්ට හිජාබය පැළඳ රාජකාරී කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රකාශයත් සමඟ බෞද්ධ හෙදියන්ට ළමා සාරිය ඇඳීමට අවසර ලබාදිය යුතු බවට භික්ෂු සංස්ථාවෙන් තර්ක ඉදිරිපත් වෙමින් විවාදයක් ඇතිව තිබේ.
අමරපුර සිරි සද්ධම්ම වංශ නිකායේ අනුනායක, කැලණිය පට්ටිය හංදියේ පඤ්ඤානන්ද ධර්මායතන විහාරාධිකාරී, දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් සහ ජාතික සංවිධාන එකමුතුවේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මාධ්‍යට ප්‍රකාශ කළේ,
“මුස්ලිම් ආගමික හෙදියන්ට හිජාබය පැළඳ සේවයට වාර්තා කිරීමට හැකි නම්, බෞද්ධාගමික හෙදියන්ගේ අනන්‍යතාවය පෙන්වීම සඳහා ඔවුන්ට ළමා සාරියෙන් සැරසී හෙද සේවයේ නිරත වීමටද අවසර ලබාදිය යුතුය”
අමාත්‍ය විජිත හේරත් මහතා 25 වැනිදා කොළඹදී මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවැති සාකච්ඡාවකදී “මුස්ලිම් ජාතික හෙදියන්ට හිජාබය පැළඳ සේවය කිරීමට කිසිඳු බාධාවක් නැත” යැයි ප්‍රකාශ කළ බවට එල්ල වූ විරෝධය දැක්වූ බෙංගමුවේ නාලක හිමියන්, එම ප්‍රකාශය “පිළිකුල් සහගත” බවත් පැවසීය.
“වසර ගණනාවක ඉතිහාසය, සංස්කෘතිය, රෝහල් පද්ධතිය, නිල ඇඳුම්, අධ්‍යාපනය ඇතුළු සියල්ල වෙනස් කිරීමට ජනතාවගේ ඡන්දයෙන් වසර පහකට බලයට පැමිණි රජයේ ඇමැතිවරුන්ගේ සාකච්ඡා, යෝජනා සහ කෙටුම්පත් මේ වන විට ජනතාවට විහිළු සැපයීමට හේතු වී ඇත”
යැයිද හිමියන් තවදුරටත් පැවසූහ.
ලංකා හෙද සංගමයේ ලේකම් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ද අමාත්‍යවරයාගේ ප්‍රකාශයට එරෙහිව මතය දැක්වූහ.
“පහනේ ආර්යාව ලෙස විරුදාවලි ලත් නයිටිංගේල් ශාන්තුවරිය රෝගීන්ට ඉටුකළ සේවය ඇගයීමේ ජාත්‍යන්තර හෙද සංකල්පයට එරෙහිව යෑමට වසර පහකට බලයට පත් කිසිම දේශපාලඥයෙකුට බලයක් නැත”
යැයිද හිමියන් අවධාරණය කළහ.