ආයේ කිසිම දවසක විශ්‍රාම වැටුප් නෑ - කථානයක සහතික කරයි
බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක් වු පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය.
අද පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වූ මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය.
ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154 ක් ද විපක්ෂව ඡන්ද 2 ක් ද හිමිව ඇත. අනතුරුව මන්ත්‍රීවරුන් වන රවි කරුණානායක සහ චාමර සම්පත් දසනායක යන මහත්වරු විසින් පනත් කෙටුම්පතේ 3වන වගන්තිය සඳහා සංශෝධන ඉදිරිපත් කළහ.
ඒවා නොපිළිගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා විසින් දැනුම් දුන් අතර එහිදී චාමර සම්පත් දසනායක මහතා විසින් සිය සශෝධනයට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලුවේය.
ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය සංශෝධනයකින් තොරව සම්මත කිරීම සඳහා ඡන්ද 152 ක්ද ද යෝජිත සංශෝධනයට පක්ෂව ඡන්ද 4ක් ද හිමිවිය.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා විසින් පනත් කෙටුම්පතේ 4 වැනි වගන්තිය සඳහා ද සංශෝධනයක් ඉදිරිපත් කරන ලද අතර එය නොපිළිගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ඉන්පසු පනත්කෙටුම්පත තෙවැනිවර කියවීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත කෙරිණි. මෙම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් 2026 ජනවාරි මස 07 වන දින පළමුවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අනතුරුව මෙම පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සහතිකය ද අද හිමිවිය.