මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කරන හේතුව ගැන ඇමති විජිත පහදයි
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව වෙත ගෙන එන ලැබු අතර ඒ පිළිබඳව මේ වනවිටත් විවිධ කතාබහ නිර්මාණය වී තිබේ.
ඒ අනුව රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බවට ලබාදුන් පොරොන්දුව ප්‍රායෝගිකව ඉටු කිරීමේ පියවරක් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.
ආර්ථික වශයෙන් ලැබෙන ප්‍රතිලාභයට වඩා මෙම තීරණයේ ප්‍රධාන අරමුණ වන්නේ දේශපාලන සංස්කෘතියේ මූලික වෙනසක් ඇති කිරීම බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.
එමෙන්ම මන්ත්‍රී ධුරය මහජන සේවයක් ලෙස සැලකිය යුතු අතර, එය මුදල් හම්බ කිරීමක් හෝ ආර්ථික වාසි ලබාගැනීමක් සඳහා භාවිතා කරන අවස්ථාවක් නොවන බවට නව සංස්කෘතියක් ස්ථාපිත කිරීම මෙහි අරමුණ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම පියවර කිසිවෙකුට පලිගැනීමක් හෝ හිටපු මන්ත්‍රීවරුන්ට රිදවීමක් සඳහා ගෙන එන එකක් නොවන බව ද විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කර තිබේ.
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප අහෝසි වුවහොත් එය වත්මන් මන්ත්‍රීවරුන්ට ද අදාළ වන අතර, එම තීරණය සියලුදෙනාටම සම ලෙස බලපාන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ ජනතාව දිගු කලක් අපේක්ෂා කළ දේශපාලන සංස්කෘතික වෙනසක් සිදු කිරීම රජයේ වගකීමක් ලෙස සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව ද ප්‍රකාශ කෙරේ.
නමුත් මෙම ක්‍රියාමාර්ගයට විශාල පිරිසක් විරෝධය දක්වා ඇත.