ඔබත් ප්‍රවේසමෙන් - දැවැන්ත මූල්‍ය වංචා 02ක් ගැන අනාවරණයක්
මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්, ඉඩම්වලට ව්‍යාජ ඔප්පු සකස්කර ව්‍යාපාරිකයෙකුට උකස් කර රුපියල් ලක්ෂ 600ක මුදලක් වංචා කිරීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම එම කොට්ඨාසය විසින්, පෞද්ගලික ඉදිකිරීම් සමාගමක ගණකාධිකාරීවරියක ලෙස කටයුතු කරමින් රුපියල් ලක්ෂ 495ක මුදලක් වසර 05ක් වැනි කාලයක් තුළදී වංචා කළ කාන්තාවක් හා ඇයගේ සැමියාව ද අත්අඩංගුවට ගනු ලැබීය.
එහි අධ්‍යක්ෂවරයා විසින් පසුගියදා නුගේගොඩ පිහිටි පෞද්ගලික ඉදිකිරීම් සමාගමකින් රුපියල් ලක්ෂ 500 කට ආසන්න මුදලක් වංචා කර ඇති බව මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.
ඒ අනුව විමර්ශන සිදුකළ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අනාවරණය කරගෙන තිබුණේ එහි ගණකාධිකාරීවරිය විසින් රුපියල් ලක්ෂ 495ක මුදලක් වංචාකර ඇති බවය.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, ඇයගේ සැමියා ඇතුළු පවුලේ සාමාජිකයින් 6 දෙනෙකුට වසර 5ක කාලයක් තුළදී අදාළ ආයතනයේ සේවකයින් ලෙස අඟවා වැටුප් ලෙස මාසිකව අදාළ මුදල ලබාදී ඇති බවයි.
ඔන්ලයින් තාක්ෂණයෙන් අදාළ මුදල් ඔවුන්ගේ ගිණුම් වෙත බැරකර ඇති බවද සිදුකළ විමර්ශනවලදී හෙළිවී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
එමෙන්ම මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින්, ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 600ක මුදලක් වංචා කිරීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයන් 2ක් අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ අදාළ ව්‍යාපාරිකයා සිදුකළ පැමිණිල්ලකට අනුවය.
ඔවුන් දෙදෙනා තවත් පුද්ගලයෙකු සමග එක්ව අදාළ ව්‍යාපාරිකයාට දඹුල්ලේ පිහිටි ඉඩම් දෙකක් සඳහා ව්‍යාජ ඔප්පු සකසා උකස් තබා ඇති බව විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන ඇත. අනතුරුව සැකකරුවන් දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
