ටොන් 110ක ප්‍රතිමාව තල්ලු කරන්න සිය ගණනක් එක්වෙයි - ඇතුළේ පුද්ගලයෙක් සිරවී සිටි‍යද?

Report

ඇමරිකාවේ චිකාගෝ නුවර පිහිටි ටොන් 110ක් බරැති දැවැන්ත ප්‍රතිමාවක් අඟල් හතක් වමට තල්ලු කරමින් එය චලනය කිරීමට සිය ගණනක පිරිසක් එක්වූ අපූරු සිදුවීමක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් දිනාගෙන තිබෙනවා.

චිකාගෝ නුවර මිලේනියම් උද්‍යානයේ (Millennium Park) පිහිටි ලෝක ප්‍රසිද්ධ 'ක්ලවුඩ් ගේට්' (Cloud Gate) ප්‍රතිමාව මෙලෙස තල්ලු කිරීමට පිරිස එක්ව තිබුණේ පසුගිය නොවැම්බර් 8 වැනි ඉරිදා පස්වරුවේදීයි.

'බීන්' (The Bean) යන අන්වර්ථ නාමයෙන්ද ප්‍රසිද්ධ මෙම රිදී පැහැති ප්‍රතිමාව ඇතුළත පුද්ගලයෙකු සිරවී සිටින බවට පැතිර ගිය කතාවක් මෙම අමුතු මෙහෙයුමට හේතු වී තිබෙනවා.

ඒ අනුව, ප්‍රතිමාව අඟල් හතක් පමණ වමට තල්ලු කළහොත් එහි යටින් ඇති දොරක් විවෘත කර ගැනීමට හැකි වන අතර, එමඟින් ඇතුළත සිරවී සිටින පුද්ගලයාට උපකාර කළ හැකි බවට සඳහන් පත්‍රිකා කිහිපයක් පසුගිය දිනවල චිකාගෝ නුවර ප්‍රදේශ කිහිපයක බෙදාහැර තිබුණා.

ලෝකයම පුදුම කරමින් බොරතෙල් මිල තවත් පහළට

ලෝකයම පුදුම කරමින් බොරතෙල් මිල තවත් පහළට

මෙම පත්‍රිකාවලින් ලැබුණු ආරාධනය අනුව සිය ගණනක පිරිසක් උද්‍යානයට රැස්වී ප්‍රතිමාව වටා පෙළගැසී දෑත්වලින් එය තල්ලු කිරීමට උත්සාහ කර තිබෙනවා.

එම අවස්ථාවේ වීඩියෝ දර්ශන ද බොහෝ දෙනෙකු විසින් පටිගත කර ඇති අතර, ඒවා මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතිනවා.

කෙසේ වෙතත්, කොතරම් පිරිසක් එක්ව උත්සාහ කළද දැවැන්ත ප්‍රතිමාව අඟලක් හෝ සෙලවීමට ඔවුන්ට හැකි වී නැහැ. මෙම සිදුවීම අන්තර්ජාලය තුළ බොහෝ දෙනෙකුගේ විනෝදයට හේතු වී තිබෙනවා.

විශාල පිරිසක් මෙවැනි විහිළු සහගත මෙහෙයුමකට සහභාගී වීම පිළිබඳව සමාජ මාධ්‍ය පරිශීලකයන් පුදුමය සහ විනෝදය පළ කර තිබුණා.

දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඊජිප්තුවේ මහා අනතුරක් - 7ක් මරු දකීද්දී 100කට වැඩි පිරිසකට තුවාල

දුම්රිය දෙකක් එකිනෙක ගැටී ඊජිප්තුවේ මහා අනතුරක් - 7ක් මරු දකීද්දී 100කට වැඩි පිරිසකට තුවාල

ප්‍රතිමාව ඇතුළේ සිරවූ පුද්ගලයාගේ කතාව කුමක්ද?

ප්‍රතිමාව ඇතුළත පුද්ගලයෙකු සිරවී සිටින බවට පැතිර යන මෙම කතාව අන්තර්ජාලය තුළ කලක සිට සංසරණය වන කටකතාවක් බව  පුවත් වාර්තා කර තිබෙනවා.

මෙම කටකතාව ආරම්භ වූ ආකාරය පැහැදිලි නැතත්, 2025 වසරේදී ද මෙම ප්‍රතිමාව ඉදිරිපිට ඒ සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වීමට තරම් එය අවධානයට ලක්ව තිබුණා.

2006 වසරේදී නිම කරන ලද 'ක්ලවුඩ් ගේට්' ප්‍රතිමාව චිකාගෝ නුවර වඩාත්ම ඡායාරූපගත කෙරෙන සංචාරක ආකර්ෂණ ස්ථාන අතරින් එකක්.

එහි කැඩපතක් වැනි දිලිසෙන මතුපිටින් නගරයේ ගොඩනැගිලි සහ අවට සිටින පුද්ගලයන්ගේ රූප පිළිබිඹු වීම නිසා එය 'ද බීන්' යන නමින් ප්‍රසිද්ධ වී තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් උද්‍යාන බලධාරීන්ගේ නිල ප්‍රතිචාරයක් වාර්තා වී නොමැති අතර, සිදුවීම අතරතුර ප්‍රතිමාවට හානි සිදුවූ බවක් හෝ කිසිවෙකු තුවාල ලැබූ බවක් ද වීඩියෝ දර්ශනවලින් වාර්තා වන්නේ නැහැ. අවසානයේදී ප්‍රතිමාව කිසිදු වෙනසක් නොමැතිව එලෙසම පැවතීමත් සමඟ රැස්ව සිටි පිරිස විසිර ගොස් තිබුණා.

සෞදි අරාබියේ ඇරැම්කෝ කුළුණට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්

සෞදි අරාබියේ ඇරැම්කෝ කුළුණට හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාරයක්