හැමෝම කතාවෙන කවුද මේ සුරේෂ් සලේ - මෙහෙම කෙනෙක් කියල කවුරුත් හිතන්න නැතුව ඇති..

Sri Lanka Army Ministry of Defense Sri Lanka Latest Headlines
By Sewvandhi Oct 05, 2024 04:19 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ එම තනතුරෙන් විශ්‍රාම ගැන්වීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත කුමාරයි.

මෙම තනතුරු වෙනස සිදුවන්නේ සුරේෂ් සලේට මීට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ශ්ව රැසකින් චෝදනා එල්ල වී තිබූ පසුබිමකයි.

2019 වර්ෂයේදී රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන එම ධුරයෙන් ඉවත් කර මේජර් ජෙනරාල් සුරේෂ් සලේ, එම තනතුරට පත් කිරීමට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළා.

එතැන් සිට අවස්ථා කිහිපයකදී ඔහුට සේවා දිගු ලබා දී තිබුණේ ඔහු විශ්‍රාම යාමට නියමිතව තිබූ පසුබිමකයි. සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස සේවය කරමින් සිටින අවධියේ චැනල් 4 නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කළ වීඩියෝවක් මගින් පෙන්වා දී තිබුණේ පාස්කු ප්‍රහාරයට මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සෘජුවම සම්බන්ධ බවයි.

මෙම වීඩියෝවේදී තොරතුරු ඉදිරිපත් කරන අසාත් මව්ලානා නැමැත්තා සුරේෂ් සලේට එල්ල කළ එක් චෝදනාවක් වන්නේ 2019 වර්ෂයේ දී පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු කණ්ඩායම සමග සාකච්ඡා කිරීමයි.

එමෙන්ම එම සාකච්ඡාව සම්බන්ධීකරණය කළ අසාත් මව්ලානාට රාජපක්ෂවරුන්ට යළි බලය ලබාගැනීම සඳහා රට තුළ නොසන්සුන් වාතාවරණයක් ඇති කළ යුතු යැයි කීමද එම චෝදනාවලට ඇතුළත්.

අනෙක් චෝදනාව වන්නේ සුරේෂ් සලේ විසින් 2019 පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ දින පෙරවරුවේ අසාත් මව්ලානා ට අමතා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ සිටි යම් පුද්ගලයකු රැගෙන එන ලෙස දැනුම් දීමයි.

එම පුද්ගලයා අත ඇති ජංගම දුරකථනය භාරයට ගන්නා ලෙසත්, එම පුද්ගලයා යෝජනා කරන තැනකින් ඔහුව බස්සවන ලෙසත් සුරේෂ් සලේ තමාට කී බවත්, එහෙත් තමා මඩකලපුවේ සිටින නිසා එය කළ නොහැකි යැයි දැනුම් දුන් බවත් පැවසූ බව අසාද් මව්ලානා චැනල් 4 නාලිකාවට පවසා තිබුණා.

සුරේෂ් සලේ එලෙස රැගෙන එන ලෙස උපදෙස් දුන්නේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරය සඳහා ගොස් බෝම්බය පුපුරුවා නොගත් ජමීල් නැමැති ප්‍රහාරකයා ද යන්න පිළිබඳ සැකයක් ඇති වූ බවත් අසාත් මව්ලානා චැනල් 4 නාලිකාවට පවසා තිබුණා.

තමා සම්බන්ධීකරණය කළ සාකච්ඡාවට එම ප්‍රහාරකයා සම්බන්ධ වූ බවට හඳුනාගත් බවයි ඔහු පවසා තිබුණේ කෙසේ වෙතත් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මෙම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරමින් ලිපියක්ද නිකුත් කර තිබුණා.

මෙවන් පසුබිමක නව රජය පත්වීමෙන් පසු සුරේෂ් සලේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ තනතුරේ සිටීම සම්බන්ධයෙන් විවිධ මත පළ වුණා. ඒ අදාළ චෝදනා පවතින සුරේෂ් සලේ යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන යළි ආරම්භ කිරීම ගැටලුවක් වනු ඇති බව පෙන්වා දෙමින්.

ඒ අනුව මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විශ්‍රාම ගැන්වීමටයි ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබෙන්නේ. රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත කුමාරයි.(උපුටාගැනීමක්)