ව්‍යාජ ලේඛන හදා එකලස් කළ ජීප් රථයක් පැදවූ පුද්ගලයෙක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස අමතර කොටස් මෙරටට ගෙන්වා රහසිගතව එකලස් කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කොට්ටාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ.
බස්නාහිර පළාත භාර උසස් පොලිස් නිලධාරීන්ට ලැබුණු විශේෂ තොරතුරකට අනුව දියත් කළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු සහ අදාළ නීතිවිරෝධී වාහනය පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇත.
පොලීසිය සඳහන් කරන්නේ අදාළ සැකකරු විසින් රේගු බදු පැහැර හරිමින් මෙරටට හොර රහසේ ගෙන්වන ලද වාහන අමතර කොටස් යොදාගෙන මෙම ජීප් රථය නීතිවිරෝධී ලෙස එකලස් කර ඇති බවයි.
එපමණක් නොව, කිසිදු වලංගු ආදායම් බලපත්‍රයක් , රක්ෂණ සහතිකයක් හෝ දුම් වාර්තාවක් නොමැතිව ව්‍යාජ ලෙස සකස් කරන ලද කූඨ ලේඛන සහ අංක තහඩු භාවිතා කරමින් මෙම වාහනය පොදු මාර්ගවල ධාවනය කර ඇති බව ද විමර්ශනවලදී හෙළි වී තිබේ.
කූඨ ලේඛන සැකසීම සහ රජයේ බදු වංචා කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ සැකකරුව අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කොට්ටාව පොලීසිය මඟින් ඉදිරි නෛතික පියවර ගනිමින් පවතියි.