කලා වැවේ වාන් දොරටු යලි අරියි - ධාරිතාව ඉහළ ගොස් පාලමක් යටවේ
කලාවැව ජලාශයේ ජල මට්ටම අද (10) දහවල් 12.00 වන විට අක්කර අඩි 85,123 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාරිමාර්ග නිලධාරීහු පවසති.
මෙය ජලාශයේ සමස්ථ ධාරිතාවයෙන් 100.78% ක් පමණක් වන අතර, දඹුළු ඔය ඇතුළු ජල මූලාශ්‍ර ඔස්සේ මේ වනවිට තත්පරයට ඝන අඩි 4,102 ක ජල ප්‍රමාණයක් තවදුරටත් කලාවැවට එක්වෙමින් පවතියි.
කලාවැව හදිසි වාන් දොරටු දෙකද මේ වනවිට අඩි 03ක් දක්වා විවෘත කර තිබේ. ඒ අනුව මෙම හදිසි වාන් දොරටු මගින් තත්පරයට ඝන අඩි 3,064 ක ජල ප්‍රමාණයක් කලාවැවෙන් කලා ඔයට මුදා හැරෙමින් පවතියි.
හදිසි වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන්, කලාවැව අවුකන මාර්ගයේ අවුකන පාලම සහ හඳුන්ගමුව – හිරිපිටියාගම මාර්ගයේ හඳුන්ගමුව පාලම ජලයෙන් යටවී ඇති අතර, එම මාර්ගවල ගමනාගමනයට දැඩි බාධා පැමිණ තිබේ.