පළාත් අතර පොදු ප්‍රවාහනය ඇරඹෙන දිනය මෙන්න්

Srilanka Transport
By Sithumi Oct 09, 2021 11:20 AM GMT
Sithumi

Sithumi

Report

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා ලබන 21 වනදා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. පළාත් අතර සංචරණ සීමා දීර්ඝ කිරීම හේතුවෙන් එම පියවර ගැනීමට සිදුවන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

මේ දක්වා පළාත් තුළ පමණක් බස්රථ ධාවනය සිදුවන අතර දුම්රිය ධාවනය පළාත් තුළ හෝ මෙතෙක් ආරම්භ කර නැහැ. ඒ අනුව සංචරණ සීමා ඉවත් කිරිමෙන් පසු ලබන 21 වනදා සිට පළාත් අතර බස් සහ දුම්රිය සේවා ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැකුවු රාජ්‍ය අමාත්‍යවරයා, "21 වෙනිදායින් පස්සේ මේක ලිහිල් කරනවා කියන සහතිකය අපිට දීලා තියෙනවා. එතකොට අපි අන්තර් පළාත් ප්‍රවාහනයත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. දුම්රියත් අපිට තාම දුවන්න දෙන්නේ නෑ. සති දෙකක් තමයි ඉන්න කිව්වේ එක සතියක් ඉවරයි. ඊළඟ සතියේ ඉන්න වෙනවා."

ප්‍රශ්නය - අවශ්‍ය කරන ප්‍රමාණයට බස්රථ නෑ නේද?

"ඔව් අපි බස්රථ ධාවනය කරන්නේ නෑනේ. එතකොට අවශ්‍ය ප්‍රමාණයට බස්රථ නෑ පළාත් අතර ධාවනයට. අභ්‍යන්තරව එහෙම ප්‍රශ්නයක් නෑ. ලොකු තදබදයක් බස්රථවල ඇතිවෙන්නේ නැති වෙන්න ලංගම හා පෞද්ගලික අංශය ඒක කළමනාකරණය කරලා තියෙනවා. 

බස්නාහිර පළාතේ පවා පළාත් අතර ධාවනය කරන්න අවසර නැතුව ලංගමට බස්රථ දාන්න හැකියාවක් නෑ. සියලු දේ වෙන්නේ සෞඛ්‍ය අංශයේ උපදෙස් අනුව. ජනතාව ට ප්‍රශ්නයක් තියෙනවා. නමුත් රෝගය පාලනය කිරීම වෙනුවෙන් මේ සතියත් ඉවසන්න වෙනවා."