කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දීය හමුදා ප්‍රධානියා ජනපති හමුවෙයි (PHOTOS)

PRESIDENT SHAVENDRA SILVA ARMY GENERAL MANOJ MUKUNDH SECURITY
By Sewvandhi Oct 13, 2021 10:16 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් අසල්වාසි රටවල ස්ථාවරභාවය තම රට ඉහළින් අපේක්ෂා කරන බව ඉන්දීය යුද හමුදා ප්‍රධානී ජෙනරාල් මනෝජ් මුකුන්ද් නාරාවන මහතා පවසයි. අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශ නිවේදනය කරයි.

යුද හමුදා සේවා කාලය තුළ තමා ඉන්දියාවේ දී ලද හමුදා පුහුණුවීම් සහ අත්දැකීම් පිළිබඳ ආවර්ජනය කළ ජනාධිපතිවරයා, ඉන්දීය හමුදා පුහුණුවීම් මඟින් මෙරට හමුදා නිලධාරීන්ට ලැබෙන නායකත්ව හැකියාව පිළිබඳ සිය ප්‍රසාදය පළ කර තිබේ.

දේශ සීමා ගණනාවකින් වටව ඇති ඉන්දීය රජයේ ආරක්ෂාව තහවුරු කරගැනීම, කඳු ආශ්‍රිත දුෂ්කර ප්‍රදේශවල දී හමුදා සුබසාධන කටයුතු සහ ඉන්දීය හමුදා නිලධාරීන් නායකත්ව පුහුණුවීම් සඳහා යොමු කෙරෙන නිලයන් පිළිබඳ ජනාධිපතිවරයා, ජෙනරාල් මනෝජ් මුකුන්ද් මහතාගෙන් තොරතුරු විමසා ඇත.

බලසේනාධිපතිවරයෙකු ලෙස පත්වීමෙන් පසු ඉන්දීය යුද හමුදා නිලධාරීන් නායකත්ව පුහුණුවීම් සඳහා යොමු කෙරෙන අතර ඒ ඒ නිලයන් විශ්‍රාම ගැන්වෙන වයස් සීමාවන් පිළිබඳ ජෙනරාල්වරයා කරුණු පැහැදිලි කර තිබේ. ශ්‍රී ලංකා හමුදා නිලධාරීහු දහසකට ආසන්න පිරිසක් වාර්ෂිකව ඉන්දියාවේ දී යුද පුහුණුව ලබති.

එම පිරිසට අමතරව ඉදිරි කාලය තුළදී හමුදා නිලධාරීන් 50 දෙනෙකුට විශේෂයෙන් සකස් කළ පුහුණු පාඨමාලාවක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ඉල්ලීම මත ලබාදීමට පියවර ගන්නා බව ඉන්දීය හමුදා ප්‍රධානියා පැවසීය.

ඉන්දීය සාම සාධක හමුදාව නියෝජනය කරමින් ත්‍රිකුණාමලය 4 කණුව ප්‍රදේශයේ සේවය කළ කාලසීමාවේදී ලද අත්දැකීම් පිළිබඳ මතකය මෙම සංචාරය තුළින් නැවතත් අලුත් කෙරුණු බව ජෙනරාල් මනෝජ් නාරාවන මහතා සඳහන් කර තිබේ. තමාට ද හිටපු හමුදා නිලධාරියෙකු ලෙස මෙවැනි අවස්ථාවක මතකයන් සිහිකරමින් කතාබහ කිරීමට ලැබීම ගැන සතුටු වන බව ජනාධිපතිවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGalleryGalleryGallery